ආගමික අපහාස ගැන ආණ්ඩු පාර්ශවයෙන් ප්‍රකාශයක්


(අංජුල මහික වීරරත්න)

ආගමික භේද ඇති කරමින් ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන රජය දැඩිව මර්දනය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ජාතිවාදය ආගම්වාදය පැතිරවීමේ ක්‍රියා සක්‍රීය වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත් ඉඩ නොදෙන බව ද අබේවර්ධන මහතා අවධාරණය කළේය.

කොළඹ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය. වැටුණු රට ගොඩනැගීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට බාර ගැනීමේ මූලික අරමුණ බව කී අබේවර්ධන මහතා සියලු මහජන නියෝජිතයන්ගේ වගකීම සියලුම දෙනා ජාතික එකඟතාවයකින් යුතුව කටයුතු කිරීම බව පැවසීය.

පසුගිය කාලයේ ඇතැම් පුද්ගලයන් පෞද්ගලික තීන්දු තීරණවලට මුල් තැන දෙමින් කටයුතු කිරීම නිසා ජපානයට ලංකාව සම්බන්ධයෙන් ඇති වී තිබුණු සැකය සහ අවිශ්වාසය දුරු කොට නැවත විශ්වාසය ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය ඉවහල් වූ බවද අබේවර්ධන මහතා අවධාරණය කළේය.

නිදහසින් පසුව වසර 75 ක් රටේ කිසිම නායකයකුට ජාතික වැඩසටහනක් දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරන්න අවස්ථාව උදාවී නැතැයි කී අබෙිවර්ධන මහතා එවන් සෑම අවස්ථාවකදීම කෙටි කලකදී ඒ නායකයා මරා දැමීම නායකයා අකාලයේ දේශපාලනයෙන් සමුගැනීම වැනි දේ නිසා ශ්‍රී ලංකාව අස්ථාවරභාවයකට පත්වී තිබෙන බව සඳහන් කළේය.