(මහින්ද නිස්සංක සහ නිමල කොඩිතුවක්කු)
අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය 21 ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේනතුව කටයුතු යොදා තිබේ.
මෙම විශේෂ දුම්රියන් කොළඹ කොටුව, මරදාන සහ ගල්කිස්ස සිට බදුල්ල, බෙලිඅත්ත, ගාල්ල, අනුරාධපුර, දකුණු කළුතර, වේගයන්ගොඩ, මාතර සහ මහනුවර දක්වා ධාවනය කෙරෙන බව දෙපාර්තමේන්තුව පවසයි.
මෙම විශේෂ දුම්රියන්ගෙන් කීපයක් මේ මස 09 වැනිදා සිට ධාවනය ආරම්භ කරන අතර සෙසු දුම්රියන් මේ මස 10 වැනිද සිට 19 වැනිදා දක්වා ධාවන කෙරෙන බවත් දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.
කොටුව - බදුල්ල, බදුල්ල - කොටුව, ගල්කිස්ස - යාපනය, යාපනය -ගල්කිස්ස, යාපනය - කුරුණගල, කොටුව - අනුරාධපුර, මරදාන - කළුතර දකුණ, කළුතර දකුණු - වේගයන්ගොඩ, වේයන්ගොඩ - කොටුව, දකුණු කළුතර - මරදාන, මරදාන - ගාල්ල, ගාල්ල - මරදාන, මරදාන -බෙලිඅත්ත, බෙලිඅත්ත - මරදාන, මරදාන - මාතර සහ මාතර - මරදාන අතර එම විශේෂ දුම්රියන් ධාවනය කෙරේ. මීට අමතරව සති අන්තයේ කොටුව මහනුවර අතර ධාවනය කෙරෙන නගරාන්තර දුම්රිය මේ මස 10 වැනිදා සිට 19 වැනිදා දක්වා දිනපතා ධාවනය කිරීමටත් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙම විශේෂ දුම්රියන්ට අමතරව කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන රාත්‍රී දුම්රියට අමතර මැදිරි කීපයක් එක්කර ඇතැයි ද දෙපාර්තමේන්තුව ප්‍රකාශෙකයෙක් පැවසීය.
මෙම විශේෂ දුම්රියන් පිළිබඳව කොටුව සහ මරදාන ඇතුළු සියලු දුම්රිය ස්ථානවලින් විමසීම් කළ හැකි බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

