අවුරුද්දක් තිස්සේ වල් ඌරන් - ඉබ්බන් මරා මස් විකුණලා


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
විවිධ පෙදෙස්වල රක්ෂිත කැලෑවලින් අල්ලාගත්, ආරක්ෂිත සතුන් ලෙස සැලකෙන වල් ඌරන් හා ඉබ්බන් මරා මස් විකිණීමේ යෙදුණු බව කියන දෙදෙනෙකු කදිරාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
 
පුද්ගලික නිවසක් ආශ්‍රිතව පිහිටි ඉඩමක මෙසේ ආරක්ෂිත සතුන්ගේ මස් විකුණන බවට ලැබුණු තොරතුරක් අනුව ගම්පහ දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්‍යක්ෂ නීතිඥ ලලිත් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැටලීම කෙරිණි.
 
සැකකරුවන් වසරකටත් අධික කාලයක් තිස්සේ මේ ආකාරයට මස් විකිණීමේ ජාවාරම කරගෙන ගොස් ඇතැයි හෙළි වී ඇත.  වැටලීමේදී ඉබි කටු සහ මස් තොගයක්ද, පිහි ද සිය බාරයට ගත් බව ගම්පහ දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
 
සැකකරුවන් හා නඩු භාණ්ඩ අද (4 ) මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
මුතුරාජවෙල වනජීවි කලාපීය කාර්යාලයේ අඩවි ආරක්ෂක ලසන්ත ගුණවර්ධන, ගම්පහ දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ අඩවි සහකාර එරංග සදුන්, වන සත්ත්ව නියාමකවරුන් වන ශානුක රණවක ආරච්චි, සේරම් යන නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ.