අවි පුහුණුව ලැබූ සහරාන්ගේ ගෝලයෙක් පේරාදෙණියේදී අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

තවුහිත් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් නැමැත්තා සමඟ මහනුවර අරුප්පල ප‍්‍රදේශයේදී අවි පුහුණුව ලැබූ පුද්ගලයෙක් ත‍්‍රස්තවාදී  විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (09)  පේරාදෙණිය දවුලගල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොම්මදු මුක්තාර් ආශිෆ් නැමැති 29 හැවිරිදි  පුද්ගලයෙකි .

ඔහුගේ පේරාදෙණිය හේන්දෙණිය නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම ත‍්‍රස්ත සංවිධානය සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශයේදී හෙළි වූ තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව රුවන් ගුණසේකර මහතා පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු  සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන  රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට නියමිතව බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.