අලුත උපන් බිලිඳා ගෙවත්තේ වළ දාලා



(රංජිත් රාජපක්ෂ)                       
 
ගෙවත්තේ වළ දමා තිබූ, අලුත උපන් බිලිඳෙකුගේ සිරුරක් හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.රාම්මුර්ති මහතා සහ හැටන් දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යය නිලධාරි කේෂාන් මධුසංඛ මහතා ඉදිරියේදි හැටන් පොලිසිය විසින් අද(22) පස්වරුවේ ගොඩගන්නා ලදී.
 
බිලිඳු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා හැටන් පොලිසියට නියෝග කළේය.
 
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය තේ වත්තේ පදිංචි සැකකාර දෙදරු මව ඇයගේ සැමියාගෙන් වෙන් වී සිටින්නීය. ඇය ඉකුත් 7 දින බිලිඳා ප්‍රසූත කර ඇති අතර පසුව ගෙවත්තේ වළ දමා ඇත.
 
එම වතුයායේ වතු කම්කරුවන් මේ පිළිබඳව 119 හදිසි පොලිස් ඇමතුම් අංශය වෙත කරන ලද දැනුම්දීමක් මත හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සැකකාර මව අත්අඩංගුවට ගෙන මවගෙන් ලද තොරතුරු මත බිලිදු මළසිරුර වළ දමා තිබු ස්ථානය හඳුනාගෙන ඇත.
 
සැකකාර කාන්තාවට වයස අවු 20 පිරිමි දරුවෙකු සහ අවු 16 ගැහැණු ළමයෙකුද සිටින බවද, දරු ප්‍රසුතිය සිදු වන අවස්ථාවේ එම දරුවන් දෙදෙනා නිවසේ නොසිටි බවටද තොරතුරු අනාවරණය වී ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.