අලි ඇතුන් මෙන්ම පුරාණ සිරිත් රැකිය යුතුයි


(අංජුල මහික වීරරත්න)

අලි ඇතුන් ආරක්ෂා කළයුතු බව තමා ද පිළිගන්නා නමුත් පෞරාණික චාරිත්‍ර ද ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දී පැවසීය. පෙරහරට හීලැ අලි ඇතුන් ලබා ගැනීම ඇතුළු මතුව ඇති ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු කළයුතු බවද ජනාධිපතිවරයා කීය.

ලබන වසර වන විට මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රගතියක් අත් කර ගැනීමේ වැඩපිළිවෙළේදී මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහරට සුවිශේෂී ස්ථානයක් හිමි වන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැල කෙරෙන ඇසළ පෙරහර සංදේශය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අද (31) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කීය.