අල්ලස් ගත් මරණ පරීක්ෂක අත්අඩංගුවට


(සුමිත් ප්‍රේමතිලක

කොවීඩ්  19 ආසාදනය වී මියගිය පුද්ගලයෙකුගේ  මරණ සහතිකයක් ලබාදීම සඳහා රුපියල් 3000 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් මතුගම හදිසි මරණ පරීක්ෂකවරයාව අද (03) දහවල් අල්ලස් හෝ දූෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මතුගම ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂක ලෙසින් රාජකාරි කරන අයකු බව පැවසේ .

පසුගිය ජූලි 12 දා කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියගොස් ඇති පාසල අසල, පන්සල පාර, වරාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අරමාදුර ගුණසේන සිල්වා (54) යන අයගේ  මරණ සහතිකය නිකුත් කිරීම සඳහා රුපියල්  3000 ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ .

මියගොස් ඇති පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් දින 14 ක් නිරෝධායනය කිරීමෙන් අනතුරුව මරණ සහතිකය ලබාගැනීමට කටයුතු කිරීමේදී අල්ලස් මුදල ඉල්ලා ඇති බවට ඔහුගේ සොහොයුරියක  කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු  අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ.