(මනෝප‍්‍රිය ගුණසේකර)
ගෝන මස් තොගයක් සමඟ අසුවු පුද්ගලයකුට නඩු නොපවරවා සිටීම සඳහා රුපියල් 10,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු අරලගංවිල පොලිසියේ රාජකාරී කළ පොලිස් පරීක්‍ෂවරයකුට සහ කොස්තාපල්වරයකුට වසර 28 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (9) නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/- බැගින් දඩ නියම කළ අතර දඩ මුදල් නොගෙවුවහොත් අමතර මාස 04 බැගින් අමතර සිරදඬුවම් ද නියම කළේය.
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සචිත‍්‍ර වික‍්‍රමරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන්ට දඬුවම් නියම කළේය.
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අරලගංවිල පොලිසියේ රාජකාරී කළ පොලිස් පරීක්‍ෂවරයකු වු අනිල් ජයන්ත හෙට්ටිආරච්චි සහ කොස්තාපල්වරයකු වු නීල් කුමාර නමැත්තන්ටය.
මේ සම්බන්දයෙන් පැවතී දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබු සියලුම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම සියලුම චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සචිත‍්‍ර වික‍්‍රමරත්න මහතා පෙනී සිටියේය.

