අරුවක්කාඩු කසල අංගනය ගැන ඇමැති චම්පිකගෙන් සහතිකයක්


විනීතා එම්  ගමගේ
 
පුත්තලමේ, අරුවක්කාඩු ප‍්‍රදේශයේ ඉදිකෙරෙන කසල අංගනය පරිසර හිතකාමී අන්දමින් ඉදිකෙරෙන්නක් බවත් ඒ සඳහා විධිමත් පරිසර අධ්‍යයනයක් සිදුකොට අනුමැතිය ලබාගෙන ඇති බවත් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය.
 
සියලු ශක්‍යතා අධ්‍යයනයන්ගෙන් පසු සිදුකරන මෙම කසල අංගනය ඉදිකිරීම උත්සාහ කර බැලීමක් ලෙස නොසලකන්නැයි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා කීය.
 
තමන් පරිසර අමාත්‍යවරයාව සිටිය දී විධිමත් කසල අංගනයක් සඳහා බොහෝ උත්සාහ කළ බවත් එය දොම්පේ දක්වා තල්ලූ වී ගිය බවත් කී අමාත්‍යවරයා අද ලංකාවේ ක‍්‍රියාත්මක වන එකම විද්‍යාත්මක කසළ රඳවනය එය පමණක් බවත් කියා සිටියේය.
 
දොම්පේ කසළ අංගනයෙන් කිසිදු පාරිසරික ප‍්‍රශ්නයක් ඇති නොවන බවත්, අපජලය, කසළ ගෙන ඒම, රඳවා තැබීම ඇතුළු සියලූ කටයුතු ඉතා පරිසර හිතකාමි අන්දමින් සිදුකරන බවත් හෙතෙම පැවැසුවේය.
 
 දොම්පේ කසළ රඳවනය වනාහි අරුවක්කාඩුවේ ඉදිකෙරෙන කසළ රඳවනයේ කුඩා අනුරුවක් සේ සැළකිය හැකියැයි ද අමාත්‍යවරයා කීය.
 
මොරටුව විශ්ව විද්‍යාලයේ ඝන අපද්‍රව්‍ය කළමණාකරන අධ්‍යනාංශය   මෙහි කටයුතු සොයාබලන බව කී රණවක මහතා එය ඉදිකිරීමෙන් පසු මෙරට කසළ ප‍්‍රශ්නයකට කදිම විසඳුමක්  ලැබෙනු ඇතැයි ද පැවැසීය.