අයි.එම්.එෆ්. ණය ගැන ජනතාව අවදියෙන් ඉන්න


(යොහාන් භාසුර)

රට බංකොළොත් පිරිසට නැවත රට ගොඩනැගිය හැකිදැයි ගැටලුවක් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (අයි.එම්.එෆ්.) රට බංකොළොත් පිරිසටම ණය දී ඇති නිසා ජනතාව අවදියෙන් සිටිය යුතු බවත් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා අද (24) පැවසීය.

අයි.එම්.එෆ්. ණය ලැබීම පිළිබඳව ජනතාව සතුටුවීම නොව සැනසුම් සුසුමක් හෙළිය යුතු බව කී මහේන්ද්‍ර ජයසේකර මහතා එම ණය පීඩාවට පත්ව සිටින ජනතාවට හුස්ම ගැනීමට ලැබුණු අවස්ථාවක් බව ද සඳහන් කළේය.

පනත් සම්මත කිරීම සහ නව ආර්ථික ප්‍රතිපත්ති ගෙන ඒම වර්තමාන ආර්ථික අර්බුදයට විසඳුමක් නොවන බවත් 2003 වසරේ සම්මත කළ මූල්‍ය වගකීම සහතික කිරීමේ පනත වසර 20 කට පසුව එය සම්ම්ත කළ පිරිසට නැවත මතක් වී ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කොළඹදී අද (24) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා එසේ පැවසීය.