අයි.ආර්.සී ප්‍රහාරයෙන් කොස්තාපල් රෝහලට


(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ)

මාලිගාවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු මාලිගාවත්ත පොලිස් වසමේ මිල්ටන් පෙරේරා මාවතේ  කාල්ටන් පෙර පාසල ඉදිරිපිට අතුරු මාර්ගයේදී  දිවයිනේ නමගිය අපරාධකරුවකුගේ පිහි  පහරකට ලක්වීමෙන්   ඔහු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට අද (30) පෙරවරුවේ ඇතුළත් කරනු ලැබීය.

මේ සිද්ධියෙන් තුවාල ලබා සිටින්නේ මාලිගාවත්ත පොලිසියේ   ටී.එම්.ඒ.ඩී කුමාර නැමැති පොලිස් කොස්තාපල්වරයාය.

ප්‍රදේශයේ නිවෙසක  සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක්   අනුව එම ප්‍රදේශයන්ට ගිය  මෙම පොලිස් කොස්තාපල්වරයා ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කර ඇති අවස්ථාවේදී ඔහු එකවරම පොලිස් කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇතැයි තොරතුරු අනාවරණයවී ඇති බව මාලිගාවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  සම්පත් පෙරේරා මහතා පැවසීය.

තියුණු ආයුධ ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරයාගේ අතකට  බරපතල හානි සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් නිලධාරීහු කණ්ඩායම් කිහිපයක් පිටත්කර යවනු ලැබ සිටිති.

ඔහු ප්‍රදේශ ගණනාවක ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට  අවශ්‍යව සිටින දිවයිනේ නමගිය අපරාධකරුවකු බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් චන්දන මහතාගේ උපදෙස් මත එහි  අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් යුතු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.