අපේක්ෂකයකු ඉදි කරන්න ගිය නිවසක වැඩ මැතිවරණ නිලධාරීන්-පොලීසීය එක්ව නවත්වයි



 (දිලීප් ජයසේකර සහ රොෂාන් දිලිප් කුමාර)
 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු විසින් සුරියවැව මහගල්වැව ප්‍රදේශයේ අසරණ පවුලක් සදහා නිවසක් ඉදිකරදීමට සුදානම් වු අවස්ථාවේ හම්බන්තොට මැතිවරණ නිලධාරීහු හා පොලීසිය එක්ව අද(22) එය නවතා දැමීමට කටයුතු කළහ.

හම්බන්තොට දිස්ත්‍රික් පොදු ජන පෙරමුණේ අපේක්ෂක අජිත් රාජපක්ෂ මහතාගේ අජිත් රාජපක්ෂ පදනම විසින් මහගල්වැව ප්‍රදේශයේ දිළිදු පවුලක් සදහා නිවසක් ඉදිකරදීම සදහා අද(22) කටයුතු ආරම්භ කෙරුණි.
 
එහිදී මේ පිළිබඳව හම්බන්තොට මැතිවරණ කාර්යාලයට ලද පැමිණිල්ලකට අනුව හම්බන්තොට මැතිවරණ නිලධාරීහු හා පොලිසිය විසින් එම ඉදිකිරිම් කටයුතු නතර කර දැමිමට පියවර ගත්හ.
 
කෙසේ වෙතත් මැතිවරණ නිලධාරීන් විසින් නිවසේ ඉදිකිරිම් කටයුතු නවතා දැමිමත් සමග එහි යම් උණුසුම් තත්වයක්ද ඇති විය.
 
මෙහිදි නිවැසියන් පැවසුවේ තමන් වසර ගණනාවක්ම නිවසක් ඉදිකර ගැනිමට නොහැකිව අන්ත අසරණ තත්වයට පත්ව සිටි බවත් අජිත් රාජපක්ෂ පදනමෙන් කල ඉල්ලිමකට අනුව එහි නියෝජිතයින් පැමිණ නිවස ඉදිකිරීම සදහා අත්තිවාරම් දැමීමට සුදානම් වු අවස්ථාවේ මැතිවරණ නිලධාරීන් පැමිණ එය නවතා දැමු බවයි.

ඒ හේතුව නිසා තමන්ට නිවස හදාගැනීමට තිබු අවස්ථාව අහිමි වී ගොස් ඇති බවත්,අසරණ අපට නිවස හදා ගන්න තිබු අවස්ථාව අහිමි කළ නිසා මැතිවරණ නිලධාරීන් විසින් හෝ අපට නිවස හදාදීමට පියවර ගත යුතු යැයි නිවෙස් හිමියා මෙහිදි පැවසීය.
 
තමන් ව්‍යාපාරිකයෙකු බවත්, ඉන් ලැබෙන ආදායමෙන් කොටසක් මෙවැනි පොදු කටයුතු සදහා වෙන් කරන බවත් තමන්ගේ පදනමෙන් අද ඊයෙක නොව මීට පෙර සිටත් මෙවැනි නිවෙස් හදා දි ඇති බවත් නිවස ඉදිකිරිමට පියවර ගත් අජිත් රාජපක්ෂ පදනමේ නියෝජිතයෙක්  මැතිවරණ නිලධාරීන් හමුවේ පැවසීය.
 
කෙසේ වෙතත් මෙය මැතිවරණ නීති උල්ලංගණය කිරීමක් හේතුවෙන් මැතිවරණ නිලධාරීන් හා පොලිසිය එක්ව නිවසේ ඉදිකිරීම් කටයුතු නවතා දැමීමට පියවර ගැනුනි.