අපේ වැඩ බලා විදෙස් රටවල් උදව් කරයි


(අංජුල මහික වීරරත්න)

රට හදන වැඩ සටහන ඉදිරිපත් කළ පසු අමෙරිකාව ඇතුළු රවටල් ලංකාවට උදව් කිරීමට සුදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අමාත්‍ය මණ්ඩලයද එකතු කරගනිමින් එම රට හදන වැඩසටහන සකස් කරගෙන යන බව කී අග්‍රාමාත්‍යවරයා ඉදිරි සති දෙක තුන ඇතුළත එම වැඩසටහන ඉදිරිපත් කළ හැකි බව ද කීය.

මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසූයේ කඩා වැටෙන ආර්ථිකය 2023 වසරේදී ගොඩ ගෙන 2024 සහ 2025 වන විට යළි රට ඉහළට ඔසවා තැබීමට විදේශ ආධාර අවශ්‍ය බවයි.

රට ගොඩනැගීම සඳහා දැනට ඉදිරිපත් කර ඇති වැඩසටහන පසුගිය දිනවල සාකච්ඡා පැවත්වූ රටවල් වලින් පිළි ගෙන ඇති බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ කරන ගෙවතු වගා වැඩසටහන් වලටද ආණ්ඩුව සම්පූර්ණයෙන් සහයෝගය දෙන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

දැනට රජයේ සංස්ථා සියල්ල පාඩු ලබන බැවින් ඉන් එකක් වත් පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක පවතින බව කී අගමැතිවරයා තමන්ගේ වැඩ පිළිවෙලට වඩා හොඳ වැඩපිළිවෙලක් කිසිවකුට හෝ ඇත්නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද කීය.