අපේ ජනබල පක්ෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල)

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එම පක්ෂයේ සභාපතිවරයා පත් කරන නියෝගයක් මැතිවරණ කොමිසමට නිකුත් කරන්නැයි ඉල්ලා අපේ ජනබල පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (8) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

එම ධූරයට වෙනත් අයෙකු පත් කිරීම වළකාලන අතුරු නියෝගයක් මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලෙසද පෙත්සම්කාර පක්ෂය සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා ඇත.

අපේ ජනබල පක්ෂය වෙනුවෙන් සභාපති සමන් ප්‍රසන්න පෙරේරා ,එම පක්ෂයේ ලේකම් නිශාන්ත රත්නායක මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට මැතිවරණ කොමිසම, එහි සභාපති ඇතුළු සාමාජිකයින් තිදෙනා, වේදිනිගම විමලතිස්ස , අතුරලියේ රත්න යන හිමිවරුන් සහ නීතීපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු ධූරය සඳහා මන්ත්‍රීවරයකු පත් කිරීම සඳහා දැනට අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී ඇත.විදිනිගම විමලතිස්ස ඊට තමා සුදුසු බව ඒ හිමියෝම කියා සිටිති. ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා සුදුස්සෙකු නම් කිරීමට බලය ඇත්තේ අපේ ජනබල පක්ෂයේ ලේකම්වරයාටය. ඒ අනුව ඊට සුදුසුම පුද්ගලයා පක්ෂයේ සභාපතිවරයාය.

මෙම තත්ත්වය නිසා පෙත්සම්කරුවන්ගේ ආසන්නතම මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.

මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, පෙත්සම්කරුවන්ගේ ආසන්නතම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත්, අපේ ජනබල පක්ෂයේ සභාපතිවරයා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් කරන ලෙසට මැතිවරණ කොමිසමට හා එහි සභාපති ඇතුළු සාමාජිකයින්ට නියෝග කරන ලෙසද , එම ධූරයට වෙනත් අයෙකු පත් කිරීම වළකාලන අතුරු නියෝගයක් මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.