අන්තවාදී මත පතුරවන්නන් වහාම අත්අඩංගුවට ගන්න


( තිළිණි ද සිල්වා )

රට තුල දැනට සිටින අන්තවාදී මතවාදයන් ව්‍යාප්ත කරන්නන් හඳුනාගෙන ඔවුන් නීතියේ රැහැනට කොටු කරගැනීමේ මෙහෙයුම් කඩිනමින් දියත් කරන්නැයි බොදුබල සේනා සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

ජාතික ආරක්ෂාව දුර්වල කිරීමට සිදුකෙරෙන කුමන්ත්‍රණ සහ අන්තවාදී බලපෑම සම්බන්ධව බොදුබලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබේ.

ඉතා කුඩා ආරක්ෂක හිඩැස් තුලින් රිංගා පාස්කු ප්‍රහාරය වැනි අන්තවාදී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් දියත් කිරීමේ අනතුරක් රට හමුවේ ඇති බව බොදුබලසේනා සංවිධානය සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

ඉස්ලාම් ආගමේ නාමයෙන් අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර සිදුකල පාස්කු ප්‍රහාරය මේ වනවිට දේශපාලන පා පන්දුවක් බවට පත්ව ඇති බවත් , ඒ තුලට මේ වනවිට ගෝලීය දේශපාලනය රිංගා ඇති ආකාරයක් දක්නට ලැබෙන බව ද එම සංවිධානය ජනාධිපති වෙතට යොමු කළ ලිපියේ සදහන් කර ඇත.

හුදෙක් රට තුල අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සඳහා මේ වන විට පාස්කු ප්‍රහාරය සැලසුම් සහගතව භාවිතා කරන ආකාරයක් මෙන්ම දැන හෝ නොදැන ආගමික නායකයන් ඇතුළු යම් යම් බලවේග ඒ සඳහා යොදාගන්නා ආකාරයක් ද නිරීක්ෂණය වන බව එම සංවිධානය කියා සිටී.

අන්තවාදය මගින් ගොඩනැගෙන ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීම වැලැක්වීම සඳහා ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ කෙටි කාලීන විසඳුමත්, රට තුල දැනට සිටින අන්තවාදී මතවාදයන් ව්‍යාප්ත කරන්නන් හඳුනාගෙන ඔවුන් නීතියේ රැහැනට කොටු කරගැනීමේ මෙහෙයුම් කඩිනමින් දියත් කරන ලෙසත් අන්තවාදී සංවිධාන හඳුනාගෙන ඒවා තහනම් කර, අන්තවාදය ව්‍යාප්ත කිරීමේ අවස්ථා අවහිර කර දීර්ඝ කාලීනව ආරක්‍ෂිත රටක් නිර්මාණය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.