(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹදී ඊයේ පැවැත්වුණ ශිෂ්‍ය උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවීමට බලාපොරොත්තු නොවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (31) පැවසීය.
ඔවුන් සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කිසිවකුට අවහිර නොවන ආකාරයේ වාතාවරණයක් රටේ පවත්වාගෙන යෑම වෙනුවෙන් ආණ්ඩුව කැපවී සිටින බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ඉදිරියට ගෙන යෑමට ආණ්ඩුව කටයුතු කරන බව පැවසූ දිනේෂ් ගුණවර්ධන මහතා ආර්ථික මූල්‍ය ප්‍රශ්න සර්ව පාක්ෂික එකඟතාවයකින් විසඳා රට ගොඩනැඟීමට උදව් වන ලෙස සියලු පාර්ශවයන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය.
" ගරු කතානායකතුමනි, විරුද්ධ පක්ෂ නායකතුමා ඊයේ ඇතිවුණු සිදුවීම ගැන ප්‍රශ්න කළා. මම ඉතිහාසයට හැරෙන්නේ නැහැ. මම ඉතිහාසය යළිත් සිහි ගන්වන්නෙත් නෑ. නමුත් අපි වර්තමානයේ රට මුහුණ දෙන මේ දැවැන්ත අර්බුදය කෙරෙහි කවුරු කවුරුත් අවධානය යොමුකළ යුතුයි.
විරුද්ධ පක්ෂයේ නායකතුමා තමන්ගේ ආසනයේ හිඳගෙන ඉන්නවා නම් වඩා හොඳයි. එතුමා ඇහුවේ හදිසි ප්‍රශ්නයක් නම් එතුමා තමන්ගේ ආසනයේ ඉන්න ඕන . මොකද මගෙන් හදිසි පිළිතුරක් බලාපොරොත්තු වුණ නිසා.
ශිෂ්‍ය ව්‍යාපාරය කලින් ඒ රැස්වෙන තැන පිළිබඳ දැනුම් දීලා තිබුණා. එතනින් එහාට සිදුවීම් පිළිබඳ හෝ ගමන් කරන ආකාරයන් පිළිබඳ දැනුම් දී තිබුණේ නෑ. ගිය ආණ්ඩු කාලේ, ඔබතුමාලගේ ආණ්ඩු කාලෙත් කලින් දැන්වීම කළ යුතුයි කියන එක සාමාන්‍ය එකඟතාවයක් මත ක්‍රියාත්මක වුණු ප්‍රතිපත්තියක්.
එතනින් එහාට මූලික අයිතිවාසිකම් කියන්නේ එක පුද්ගලයෙක්ගේ මූලික අයිතිවාසිකම් පමණක් නෙවෙයි .අනිත් ජීවත් වන සියලු දෙනාගෙත් අයිතිවාසිකම්. ඒ නිසා කාටවත් අවහිරයක් නොවන ආකාරයේ, කටයුතු කරන්න පුළුවන් වාතාවරණය වෙනුවෙන් අපි කැපවී සිටිනවා.
ඒ නිසා යම්කිසි කෙනකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා නම්, ඒ අරගෙන තිබෙන කිසිවකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් කරන්න බලාපොරොත්තුවක් නැති බව මේ වෙනකොට අපට දන්වලා තිබෙනවා. සාමාන්‍ය නීතිය යටතේ ඕනෑම කෙනෙකුට යම් යම් තනි ක්‍රියාමාර්ග තුළ ඇති කරන්නා වූ මහජන උද්‍ඝෝෂණ හා මහජන අවහිරතාවයන් කියන දෙකම සැලකිල්ලට ගැනීම පොලිසියේ වගකීමක්. මොකද, අපි සියලු දෙනාම නීතිය හා සාමය ආරක්ෂා කිරීම එම ආයතන මඟින් බලාපොරොත්තු වෙන නිසා. ඉතින් මම හිතනවා, කලබල වෙන්න දෙයක් නැහැ ප්‍රශ්නය අහපු එක හොඳයි.
අපේ පරණ මිත්‍රයන් කීප දෙනෙකු එහා පැත්තේ එහාට මෙහාට ඇවිදිනවා. මේ පැත්තෙත් එහාට මෙහාට ඇවිද ඇවිද හිටියේ. ඒක අලුත් දෙයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය යටතේ මම අවුරුදු තිහකට එහා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. මම දැකලා තියෙනවා මෙහෙන් එහාට යනවා.එහෙන් මෙහාට එනවා. නමුත් ප්‍රජාතන්තුවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යෑමේ ඕනෑකම වෙනුවෙන් අපේ රජය එක ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරලා, වැඩ කරගෙන යනවා.
ඒ නිසා විරුද්ධ පක්ෂයෙන් මම ඉල්ලීමක් කරනවා.පෙරේදාත් මම සාකච්ඡාවක් කළා. කතානායකතුමනි, මේ සර්ව පාක්ෂික එකඟතාවයෙන් කටයුතු කරන්න පුළුවන් ක්‍රියාදාමයක් ගැන. එයට ප්‍රමුඛත්වය දී මේ අපි මුහුණ දෙන භයානක අර්බුදකාරී ආර්ථික මූල්‍ය ප්‍රශ්නය හමුවේ එකඟතාවයෙන් කටයුතු කරන්න සහයෝගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
අපි පසුගිය මාස කීපයේදීත් මේ තත්ත්වය ගැන සාකච්ඡා කළා, පසුගිය මාස කීපයේ මෙම තත්ත්වය ඇතිවීමෙන් ඇති වුණු කණගාටුදායක තත්ත්වය ආර්ථිකයටත් ඒ වාගේම, ආයතනවලටත්, එදිනෙදා මහජනතාවටත් මුහුණ දෙන්නට සිදු වුණු හානිදායක තත්ත්වය ගැන.
ඒ නිසා අපි රටේ තිබෙන නීතිය යටතේ කටයුතු කරනවා විනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්න, බලාපොරොත්තු වෙන්නේ නෑ. "

