අනවසර වයරයේ පැටලුණු මුනුපුරා බේරා ගැනීමට ගිය සීයා අවසන් ගමන් යයි


(හේමන්ත රණසූරිය සහ පියදාස සමරවීර)

කැබිති ගොල්ලෑව  හේරත්හල්මිල්ලෑව ප්‍රදේශයේ පාළු ගෙවත්තක් හරහා අදින ලද අනවසර විදුලි රැහැනක පැටලී සිටි මුණුපුරා බේරා ගැනීමට ගිය හැත්තෑ දෙහැවිරිදි  සියා  මියගොස්   මුනුපුරා විදුලි සැර වැදී රෝහල් ගත කර ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හේරත් හල්මිල්ලෑව ගමේ පදිංචිව සිටි බණ්ඩාගේ විජේරත්න නමැති සිව් දරු පියකි. ඔහු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සෙබළකු ලෙස කටයුතු කළ අයෙකි.

විදුලිය සැර වැදීමෙන් බරපතළ තත්ත්වයෙන් දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන හෂාන් සඳකැළුම් නමැති දාහත් හැවිරිදි මුනුබුරා කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසුවකු බවද පොලිසිය සඳහන් කළේය.

විදුලිය සැරවැදීමෙන් බරපතල තත්ත්වයේ පසුවන හෂාන් සඳකැලුම් නමැති අය ඔහුගේ නිවස ආසන්නයේ ඇති අනාරක්ෂිත ළිඳකට දිය නෑමට ගොස් සිටියදී ඒ අසලින් ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ඇද වැටී කෑගසන ශබ්දය ඇසී, ඔහුගේ සීයා වන මරණකරු එම ස්ථානයට දිව යෑමේදී ඔහුද එම අනවසර විදුලි රැහැනේ පැටලීමෙන් මෙලෙස මරණයට පත් වූ බව, එම අවස්ථාවේ එතැනට දිවගිය අසල්වාසීන් අප සමඟ පැවසූහ.