(නිමල කොඩිතුවක්කු)
අධිවේගී මාර්ගවල ධාවනය වන බස්රථ 150ක් පමණ බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ධාවනය වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
මේ හේතුවෙන් රජයට මාසිකව ලක්ෂ සියයකට අධික පාඩුවක් දැරීමට සිදුවන බවත් විජේරත්න මහතා පැවසීය.
එම බස් රථ සඳහා 2013 වසරේදී නීතිවිරෝධී අයුරින් බලපත්‍ර ලබාදී ඇති බවත් එම බලපත්‍ර 2019 වසරේ සිට කල් ඉකුත් වී ඇති බවත් ඔහු සදහන් කළේය.
එලෙස බලපත්‍ර කල් ඉකුත් වූ බස්රථ 150ක් පමණ අධිවේගී මාර්ග වල ධාවනය වන බවත් මේ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නොමැති බවත් සභාපතිවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් ඔහු තවදුරටත් කීවේය.

