අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරු ත්‍රස්ත විමර්ශන ඒකකයට


(රොමේෂ් මධුෂංඛ)

 

වවුනියාව, නෙඩුන්කේනි, සේනපිලව් ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ ළඟ තබාගෙන සිටි සැකකරු ත්‍රස්ත විමර්ශන ඒකකය වෙතට බාර දීමට පොලීසිය විසින් පියවර ගනු ලැබීය.

අත්අඩංගුවට පත් සැකකරු හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයකු ද යන්න සොයාබැලීම සඳහාත් පුපුරණ ද්‍රව්‍ය රැස්කලේ කුමණ අරමුණක් සඳහා ද යන්න සෙවීම සඳහා ත්‍රස්ත විමර්ශන අංශයට බාරදීම නෙදුන්කේනි පොලීසිය කටයුතු කරනු ලබයි.

නෙදුන්කේන් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව යුදහමුදාවේද සහය ඇතිව නිවසක් වැටලීමේදී නිවස තුළ සඟවා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ තොගය සොයාගෙන තිබේ.

එහිදී නිවස තුළ තිබී ටි.එන්.ටි. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 21 යි ග්‍රෑම් 635 ක්, පි.ඊ. 01 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 610 ක් හා පුද්ගල නාශක බිම් බෝම්බ 148 ක් ඒ අතර වූ බවටත් හමුවූ පුද්ගල නාශක බිම් බෝම්බ වලින් බෝම්බ 22 ක්ම සක්‍රීය තත්වයේ පැවති බවද පොලිසිය පවසයි.

සැකකරු දීර්ඝ කාලයක සිට රාජ්‍ය නොවන ආයතනයක බෝම්බ නිෂ්ක්‍රීය ක්‍රියාකරුවකු ලෙස සේවය කර ඇති බවත්, එහිදී හමුවන බිම් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය එලෙස රැස්කර ඇති බවත් පොලිසිය සැක පළ කරයි.

අත්අඩංගුවට පත් සැකකරු ඔඩ්ඩුසුඩාන්, මන්නන්කණ්ඩාල්හි පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.