
(අංජුල මහික වීරරත්න)
ගරු අධිකරණය විසින් ලබා දෙන තීන්දු යූටියුබ්කරුවකු විසින් පූර්වයෙන් ප්‍රකාශයට පත් කිරීම උත්තරීතර නීතියට කළ අපහාසයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
යුක්තිය පසිදලන ක්‍රියාවලිය සහ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන මොහොතක උත්තරීතර නීතියේ සඳහන් නොවන තුන්වැනි පාර්ශ්වයකට සමාජ මාධ්‍ය ජාලා හරහා නීතියේ ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵලය පුරෝකථනය කළ නොහැකි බව සජිත් ප්‍රේමදාස මහතා කීය.
එවැනි උත්තරීතර නීතියට පරිබාහිර තුන්වැනි පාර්ශ්වයක් සමාජ ජාලා හරහා නීතිය පසිදලීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵල ගැන පූර්වයෙන් අනාවැකි පළ කිරීම භයානක තත්ත්වයක් බවද ප්‍රේමදාස මහතා පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වීමට නම් රටක ජනතාව යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය නිවැරදිව ක්‍රියාත්මක වෙනවාද කියා විශ්වාස කළ යුතු බවත් මෙවැනි ප්‍රකාශ නිසා ජනතාව තුළ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳ වැටෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට ගොස් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
සමාජ මාධ්‍ය ජාලා වල පුද්ගලයකු මේ සිදුවීම සිදුවන ආකාරය ගැන පෙර සිටම ප්‍රකාශ කිරීම බරපතල ගැටලුවක් බව කී සජිත් ප්‍රේමදාස මහතා එය අධිකරණයට, උත්තරීතර නීතියට කරන අපහාසයක් සහ මේ ක්‍රියාදාමයේ නියැලී සිටින සියලු දෙනාට කරන අභියෝගයක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත මරු පහරක් එල්ල කිරීමක් බව පැවසීය.
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සහ නිතියේ ආධිපත්‍ය යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයක් බැවින් මෙය සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් තිබිය යුතු වුවත් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීමට පෙර අධිකරණ තීන්දුවක් පූර්වයෙන් සමාජ මාධ්‍ය ජාලාවක පුද්ගලයකු ප්‍රකාශයට පත් කිරීම ගරු අධිකරණය සහ නීතියේ ආධිපත්‍ය හෑල්ලූවට ලක් කිරීමක් බවත් මේ ගැන ස්වාධීන අධිකරණය නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

