අතුරුදන් වූවන්ගේ ඥාතීයෝ ත්‍රි‘මලේ විරෝධතා-සත්‍යග්‍රහ කරති


(අමදෝරු අමරජිව)

අතුරුදන්වූවන්ගේ ඡාත්‍යන්තර දිනය යෙදී තිබෙන අද (30) දිනයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ  ස්ථාන දෙකක දී  අතුරුදන්වූවන්ගේ ඥාතීයෝ පිරිසක් විරෝධතා හා සත්‍යග්‍රහයන් ඇරඹුහ.

නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහය පැවැත්වූ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අතුරුදන් හා පැහැරගත් ඥාතීන්ගේ සංවිධානය විසින් සත්‍යග්‍රහය පවත්වනු ලැබීය.

අතුරුදන්වූවන්ගේ ඥාතීහු ඔවුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් සත්‍යග්‍රහය පැවැත්වූ අතර ඒ සඳහා ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියේ නිලධාරීන් අවට ආරක්ෂාව යොදා තිබිණි.

මීට අමතරව ත්‍රිකුණාමලය ගාන්ධි වටරවුම අසළින් පෙළපාලිය ආරම්භ වී ත්‍රිකුණාමලය නගරයට පැමිණීමට ගත් උත්සහයක් පොලිසිය විසින් වළක්වනු ලැබීය.

පෙළපාලි පැවැත්වීම තහනම් බවත් නිරෝධායන නිති උල්ලංඝනය  කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගත හැකි බවට නීතිය පෙන්වා  දීමෙන් පසු  පැමිණි පිරිස ත්‍රිකුණාමලය නගරයට බස්රථ වලින් පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ.

උතුරු නැගෙනහිර බලෙන් අතුරුදන් කළ අයගේ ඥාතීන්ගේ සංගමය ආරම්භ කර තිබු අතර ත්‍රිකුණාමලයේ අතුරුදන් වුවන්ගේ ඥාතින්ට අමතරව මඩකලපුව  දිස්ත්‍රික්කයේ අතුරුදන් වුවන්ගේ ඥාතියෝ පිරිසක් ද මෙයට එක්ව සිටියහ.