අගමැතිට කාලය දෙන්න


(අංජුල මහික වීරරත්න)

අගමැතිවරයාට රටෙි ප්‍රශ්න විසඳීමට කාලය ලබාදිය යුතු යැයි ද කවුරුත් බාර නොගත් අවස්ථාවේ අගමැති ධුරය බාරගත් රනිල් වික්‍රමසිංහ මහතාට දොස් කියා පලක් නැතැයි ද සමගි ජන ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පැවසීය.

හෙට දිනයේ දී රට සජිත් ප්‍රේමදාස බාරගත්තත්, අනුර කුමාර බාර ගත්තත්, මුළු පාර්ලිමේන්තුව එකතු වුණත් ක්ෂණිකව ප්‍රශ්න විසඳන්නට හැකියාවක් නැතැයිද තිගාම්බරන් මහතා සඳහන් කළේය.

බංකොලොත් වූ රටක් හෙයින් කවුරු ආවත් සති දෙක තුනෙන් ප්‍රශ්න විසඳන්නට නොහැකි  බව කී මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයාට තව මාසයක් දෙකක් වත් කාලය ලබාදිය යුතුව ඇතැයි ද කීය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා හමු වීමෙන් අනතුරුව මාධ්‍යයට  ප්‍රකාශයක් කරමින් පලනි තිගාම්බරන් මහතා සඳහන් කළේ තමා ඉන්දීය මහ මහකොමසාරිස්වරයා හමුවී ලාංකික ජනතාව විඳින දුක ගැන පැවසූ බවයි.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා ද හමුවී  වතුකරයේ ජනතාව විඳින දුක ගැන දැනුම්දීමක් කළ බව ද සජබ මන්ත්‍රීවරයා කීය.

ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත මේ දක්වා  උපකාර කර තිබෙන අතර ඉදිරියේදීත් එලෙසම උපකාර කරනු ඇතැයි ද තිගාම්බරන් මහතා පැවසීය.

ගෝඨාභය සිටින තුරු අර්බුදයෙන් විසඳෙන්නේ නැතැයි කී මන්ත්‍රීවරයා රාජපක්ෂ නඩය ජනතාවගෙන් ඇත්ත සැඟ වූ බවද අලුත් අගමැතිවරයාට පැමිණ පාර්ලිමේන්තුවේ ඇත්ත කියා තිබෙන බවද දැන් එය ද විවේචනයට ලක්ව තිබෙන්නේ යැයිද කීය.