
ජපාන අග්‍රාමාත්‍ය සනායි තකායිචිගේ නිල නිවස සහ කාර්යාලය වන ‘කන්ටෙයි’ මන්දිරයේ හොල්මන් කළ කැරපොත්තකු පණ පිටින් අල්ලා පිටමන් කිරීමට අග්‍රාමාත්‍යවරියගේ කාර්ය මණ්ඩලය සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
‘කන්ටෙයි’ මන්දිරය, 1929 වසරේ ඉදිකළ, විටින් විට අලුත්වැඩියාවට ලක්වුණු ඉපැරණි මන්දිරයකි. 1930 දශකයේ බලය වෙනුවෙන් සිදුවුණු කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් ලෙස මෙම මන්දිරය තුළ ලේ වැගිරීම් සිදුවිය.
මන්දිරය තුළ මියගිය බොහෝ දෙනකුගේ ආත්ම තවමත් මන්දිරය තුළ සැරිසරන බවට රාවයක් පවතී.
65 හැවිරිදි අග්‍රාමාත්‍ය තකායිචි, අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු ‘කන්ටෙයි’ මන්දිරයේ පදිංචියට ගිය අතර, ඇය රාජකාරිය වෙනුවෙන් කැපවී සිටින තැනැත්තියක ලෙස ප්‍රකටය. ජපාන අග්‍රාමාත්‍ය ධුරයට පත් පළමු කාන්තාව වන්නේ ද තකායිචිය.
අග්‍රාමාත්‍යවරිය, නිදා ගන්නේ පැය 4 ක් වැනි කෙටි කාලයක් බව පැවැසෙයි. ඇය නිවසේ සිට ද රාජකාරි කරයි. මැදියම් රෑ සහ අලුයම් කාලයේ පවා ඇය රාජකාරි කරන බව පැවැසෙයි.
එසේ රාජකාරි කරද්දී, පසුගිය දිනවල ඇයට නොයෙකුත් සද්ද බද්ද ඇසෙන්න විය. මේ සම්බන්ධයෙන් ඇය ඇගේ සමාජ මධ්‍ය ගිණුම ඔස්සේ ද සටහනක් පළ කර තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් බොහෝ දෙනකු පැවැසුවේ, ‘කන්ටෙයි’ මන්දිරයේ හොල්මන් අවතාර ඇති බවය.
කෙසේ නමුත් දින කීපයක් යද්දී, අග්‍රාමාත්‍යවරිය යළි ඇගේ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තැබුවේ, තමන් හොල්මන් විශ්වාස නොකරන බවත්, මහ රෑ සද්දබද්ද කරන්නේ මන්දිරයේ සිටින එකම එක කැරපොත්තකු බවත්ය.
එම කැරපොත්තා ‘අඩපණ කර’ ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය තකායිචිගේ ලේකම්වරිය සහ කාර්ය මණ්ඩලය සූදානම් වූ අවස්ථාවේදී, අග්‍රාමාත්‍යවරිය උපදෙස් දී ඇත්තේ කැරපොත්තා නොමරා අල්ලා මන්දිරයෙන් ඉවත් කරන ලෙසටය.
ඒ අනුව, මහත් පරිශ්‍රමයක් දරා කැරපොත්තා පණ පිටින් අල්ලා ගැනීමට කාර්ය මණ්ඩල සාමාජිකයන් සමත් වුණු අතර ඌ වෙනත් ස්ථානයකට රැගෙන ගොස් නිදහස් කළ බව පැවැසෙයි.

