අගමැති ආරක්ෂකයන් 500කට දුන් ස්ථාන මාරු පැය 24න් අවලංගු කරයි



 
(තරිඳු ජයවර්ධන)
 
අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් 500 දෙනකුට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග පරිදි මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ අත්සනින් ඊයේ (24) ලබා දුන් ස්ථාන මාරු පැය 24ක් යන්නට මත්තෙන් අද (25) යළිත් අවලංගු කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.
 
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු, පොලිස් පරීක්ෂකවරු, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියෝ, කාන්තා පොලිස් පරීක්ෂකවරියෝ, පොලිස් සැරයන්වරු , පොලිස් කොස්තාපල්වරු , පොලිස් කොස්තාපල් රියදුරෝ සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියෝ පිරිසක්  ඊයේ (24) එලෙස ස්ථාන මාරු කරනු ලැබ සිටියහ.
 
මෙම නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සිට ඇමැති ආරක්ෂක කොට්ඨාසය වෙත ස්ථාන මරු කර තිබුණු බව පොලිස් මූලස්ථානය කියයි.
 
කෙසේ වෙතත් අද (25) පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පුහුණු, බඳවාගැනීම්, ජාත්‍යන්තර සබඳතා හා මානව සම්පත් කළමනාකරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ අත්සනින් විශේෂ පොලිස් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (24) දුන් ස්ථානමාරු කිරීම් තාවකාලිකව අත්හිටුවා තිබේ.
 
ස්ථානමාරුවීම් ලබා දුන් පොලිස් පණිවුඩයේ සඳහන් වන්නේ සේවයේ අවශ්‍යතා මත මාරු වීම් කළ බවයි. ස්ථාන මාරුවීම් අවලංගු කළ පොලිස් පණිවුඩයේ සඳහන් වන්නේ ද සේවයේ අවශ්‍යතා මත ස්ථානමාරුවීම් අත්හිටවූ බවයි.