
(අයි ආර් ඉන්දික සහ ඉන්දිකා රාමනායක)
වැස්සෙන් බේරිමට ගෝනගංආර මහවෙල්යායේ මඩුවක සිටි සහෝදරයන් දෙදෙනකු අකුණූ සැර වැදිමෙන් මියගොස් ඇතැයි ගෝනගංආර පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ 1990 ගිලන්රථ සේවයේ රියදුරකු ලෙස සේවය කළ දෙයියන්නේවෙල ඇලෙවත්ත ඩබ්. එම්. සිතාර මධුවන්ත ( 34) හා මහවෙල වගුරුවෙල බුත්තල ලිපිනයේ පදිංචි පෞද්ගලික සමාගමක සේවය කළ ඩබ්. එම්. චමින්ද බණ්ඩාර (32)නැමති අවිවාහක තරුණයන් දෙදෙනෙකි.
මෙම තරුණයන් දෙදෙනා හා තවත් කිහිපදෙනකු මහවෙල්යායේ ඇළේ මැෂිමකින් තණ්කොළ කපමින් සිටින අතර තුර වර්ෂාව පැමිණිමත් සමග වෙල්යායේ ඉදිකර තිබු මඩුවකට දිවගොස් ඇති අතර අනෙක් පුද්ගලයන් වෙල්යායෙන් පිටවගොස් තිබේ .
ටික වේලාවකදි අකුණක් පුපුරාගොස් ඇති අතර ඊට සුලු මොහොතක පසු වෙල්යායේ තිබු මඩුව ගිනි ගන්නා දුටු මියගිය චමින්ද බණ්ඩාර තරුණයාගේ මව ස්ථානයට පැමිණ තිබේ .
ඒ අවස්ථාවේ මෙම තරුණයන් දෙදෙනා මඩුවේ තැන තැන වැඩි සිටින අයුරු හා මඩුව ගිනි ගන්නා අයුරු දුටු එම මව කෑගසා අවට සිටි පිරිස් එම ස්ථානයට ගෙන්වාගෙන ගින්න නිවාදමා තිබේ .
අකුණු පහරින් මඩුව ගිනි ගැනිමත් සමග චමින්ද බන්ඩාර තරුණායාගේ සිරැරටද ගිනි ඇවිලි ඇති අතර ඔහුගේ අත්පා පිලිස්සි තිබේ . අනෙක් තරුණයා විසිවි ගොස් වැටි ඇති අතර ඔහුගේ කලිසම් සාක්කුවේ තිබු ජංගම දුරකථනයද අකුණු පහරට විනාශ වි තිබේ.

