21 වැනිදා පාසල් හිස් වෙන්න දෙන්න එපා


(ඩයනා උදයංගනී)

දෙවසරකට පමණ පසු යළිත් පාසල් ආරම්භ වන ලබන 21 වැනිදාට පාසල් හිස් නොකර, ලබන සඳුදා වන විට ගුරුවරුන්ගේ ගැටලුවට විසඳුමක් ලබාදෙන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එමෙන්ම රටේ දරුවන් හදවතක් නැති ආණ්ඩුවේ බිල්ලක් බවට පත්නොකර දරුවන් ගැන සිතා ක්‍රියාමාර්ගයක් ගන්නනැයි ගුරුවරුන්ගෙන් ද තමා ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දෙමාපියන් සමඟ සම්බන්ධ වී සාකච්ඡා කර ගුරු ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත්, තව සති කිහිපයකින් ඉදිරිපත් වන අයවැයෙන් ගුරු ඉල්ලීම ඉටුවෙනවාද නැද්ද බලා අරගලය ඉදිරියට ගෙනියනවාද නැද්ද යන්න තීරණය කරන ලෙසත් තමා ඉල්ලා සිටින බව පාඨලී චම්පික රණවක මහතා කීවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ  දී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එමෙන්ම  අයවැයෙන් ගුරු ගැටලුවට විසඳුමක් ලබාදෙන බවට  ලිඛිත පොරොන්දුවක් ලබාදී ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කිරීමේ හැකියාවක් රජයට ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

  දෙන්න ව්‍යාජ පිටට තට්ටු කිරිම් හා හිනාවලින් හෝ අපහාස, අවමානවලින්ගුරු විදුහල්පතිවරු මර්ධනය කළ නොහැකි බව දැන් ඉතා පැහැදිලි වී ඇති නිසා තවදුරටත් හදවතක් නැති පිරිසක් ලෙස ක්‍රියා නොකොට වහාම ඔවුන්ට  ලබා සාධනීය විසඳුමක් ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ද චම්පික රණවක මහතා සඳහන් කළේය.