
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේදී 30/1 යෝජනාව ඉදිරිපත් කළ කිසිවකුත් අද දේශපාලනයේ නැතැයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවැසීය.
අල්ජසීරා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කොළඹගේ මහතා ඒ බව පැවැසීය.
ජීනිවා මානව හිමිකම් කවුන්සිලය සහ ශ්‍රී ලංකාවට එල්ල වී තිබෙන යුද අපරාධ සම්බන්ධයෙන් අල්ජසීරා මාධ්‍යවේදියා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම සඳහන් කළේය.
ඉකුත් ආණ්ඩුව ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය නොදුන් නිසා පාස්කු ඉරිදා මරාගෙන මැරුණු ප්‍රහාර මාලාව එල්ල වූ බවත් තිස් වසරක යුද්ධයක් පැවැති රටක එවැනි දැවැන්ත ව්‍යවසනකාරී ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව එය වූ බවත් කොළඹගේ මහතා කීවේය.
යුද්ධය අවසන් වීමෙන් පසු තිරසර සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දේශීය යාන්ත්‍රණයක් වෙනුවෙන් කැප වූ බවත් ඒ වෙනුවෙන් පමණක් ජනාධිපති කොමිෂන් සභා තුනක් පත් කළ බවත් ඔහු කීය.
යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා රජය යුද්ධයට මැදි ව තිබූ ඉඩම්වලින් සියයට 92ක් මහජනතාව වෙත මුදා හැර ඇතැයි ද හෙතම කීවේය.
බිම්බෝම්බ ලක්ෂ හැටක් ඉවත් කර ඇති බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය මානව පලිහක් ලෙස යොදාගත් පුද්ගලයන් 295,000 කට වැඩි පිරිසක් පුනරුත්ථාපනය කර නැවත පදිංචි කර ඇති බවත් කී කොළඹගේ මහතා ඊට අමතරව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයන් 12,500 කට වැඩි පිරිසක් පුනරුත්ථාපනය කර සමාජයට මුදා හැර ඇති බවත් කී ඔහු කීය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේ දී ඉදිරිපත් කළ 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට වත්මන් රජය ගත් පියවර සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකාව පොරොන්දු කඩ කරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මිෂෙල් බැචලේ මහත්මිය එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් ද අල්ජසීරා මාධ්‍යවේදියා විදේශ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතාගෙන් විමසීය.
මිෂෙල් බැචලේ මහත්මිය හෝ ඇයගේ නියෝජිතයන් කිසිවකුත් ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි ද බොහෝ අය පරිගණක ඉදිරියේ සිට වාර්තා ඉදිරිපත් කරන නමුත් රටේ යථා තත්ත්වය හැබැහින් දැක නැතැයි ද ඊට පිළිතුරු දෙමින් කොළඹගේ මහතා පැවැසීය.
055

