දහතුන සංහිඳියාවට මහඟු මගක්


ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා තෙදින නිල සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙරටේ සබඳතා සහ කාලීන කාරණා කීපයක් සම්බන්ධයෙන් ඒ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් ඊයේ (3) සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවිය. මේ එහි සිංහල පරිවර්තනයකි.

ප්‍රශ්නය:- පසුගිය දශක කිහිපය තුළ ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා එතරම් සුමට නොවන බවක් පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාවේ උතුරු පළාත මුල් කරගත් අරගලය යන සංවේදී කාරණාව සමඟ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වර්තමාන සබඳතා ඔබ දකින්නේ කෙසේද?
පිළිතුර:- ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතා සඳහා ඉහළ වැදගත්කමක් ලබා දෙනවා. සමස්ත ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතාවල ශක්තිමත් වර්ධනය ඉන්දියානු රජයේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තියේ මූලික අරමුණක්. කොවිඩ් වසංගතය විසින් මතු කරනු ලැබ ඇති බාධා සහ ඍණාත්මක බලපෑම් සමඟ මුළු ලෝකයම අරගල කරමින් සිටින කාලයක මෙහි වැදගත්කම වඩාත් ඉස්මතු වී තිබෙනවා. නිදහසෙන් පසු දෙරට ඉතිහාසය දෙස බැලීමේදී අපගේ ද්විපාර්ශ්වික සබඳතාව වඩාත් ගැඹුරු වී ඇත්තේ කලාපීය සාමය සහ ආරක්ෂාව පිළිබඳ ක්‍රමෝපායික චින්තනය හා මුසු වූ ජනතාව අතර ශක්තිමත් සබඳතා පැවති කාල වකවානු තුළයි. එබැවින්, අප දෙරට අතර දිගුකාලීන සබඳතා වර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම දෙරට රාජ්‍යවල සේම ජනතාවගේත් කාර්යභාරයක්.


ද්විපාර්ශික සබඳතා
ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ඉහළ මට්ටමේ සංචාර සහ අන්තර් ක්‍රියාකාරකම්වලින් සමන්විත වෙනවා. පසුගිය වසර කිහිපය පුරා ද මෙවැනි ඉහළ මට්ටමේ සංචාර සහ අන්තර් ක්‍රියාකාරකම් දක්නට ලැබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩ භාර ගැනීමෙන් අනතුරුව එතුමන්ලාගේ ප්‍රථම නිල විදේශ සංචාර වශයෙන් පිළිවෙළින් 2019 නොවැම්බර් මාසයේදී සහ 2020 පෙබරවාරි මාසයේදී ඉන්දියානු සංචාරවල නිරත වුණා. 2020 සැප්තැම්බර් මාසයේදී, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සමුළුවක් අන්තර්ජාලය ඔස්සේ සාර්ථකව පැවැත්වුණා. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකතුමා සහ විදේශ අමාත්‍යතුමා පිළිවෙළින් 2020 නොවැම්බර් මාසයේදී සහ 2021 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළා.

විදේශ ලේකම් ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිදු කරන පළමු ශ්‍රී ලංකා සංචාරය වන මෙම සංචාරය අතරතුර දෙරට ආණ්ඩු අතර සංවර්ධන සහයෝගීතාව, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, ආර්ථික සහ වාණිජ සබඳතා, ආරක්ෂක සහයෝගීතාව සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ඉහළ නැංවීමට මා අපේක්ෂා කරනවා. මාගේ සංචාරය සිදු වන්නේ කොවිඩ් තත්ත්වයේ සැලකිය යුතු අඩු වීමක් දක්නට ලැබෙන කාලයකයි. රට නැවතත් විවෘත කිරීමෙන් දෙරට ජනතාව අතර නැවතත් වඩාත් ශක්තිමත් අන්තර් ක්‍රියාකාරකම් ඇති වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය:- 1987 ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම තවමත් ක්‍රියාත්මක ද? ඉන්දියාව දිගින් දිගටම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස ප්‍රකාශ කරනවා.
පිළිතුර:- ඉන්දියාව ඉතා වැදගත් සමුද්‍රිය, ආරක්ෂක සහ සංවර්ධන සහකරුවකු වන ශ්‍රී ලංකාව ඇතුළු සියලු අසල්වැසි රාජ්‍ය සමඟ සාමකාමී සබඳතා පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා. දෙපාර්ශ්වය අතර බහු ආංශික සබඳතා එකිනෙකාගේ එක්සත්භාවයට සහ භෞමික අඛණ්ඩතාවට අන්‍යොන්‍ය වශයෙන් ගරු කිරීම මත පදනම් වී තිබෙනවා. ඓතිහාසික වශයෙන් ගැඹුරු ශිෂ්ටාචාරමය සහ සංස්කෘතිකමය සබඳතාවලින් ඉතා සමීපව බැඳී තිබෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අන්‍යොන්‍ය සෞභාග්‍ය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වනවා. අප දෙරට විසින් බෙදා ගන්නා පොදු අතීතයේ විවිධ අවස්ථාවලදී ඉන්දියාව ආරක්ෂක සහාය වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දක්වා තිබෙන අතර මෙම ප්‍රතිචාර අදාළ කාලවල ශ්‍රී ලංකා නායකත්වයේ අභිමතයට පූර්ණ ගරුත්වය පිළිඹිබු කරන ක්‍රියා මගින් පෙන්නුම් කර තිබෙනවා.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිලාභ පිළිබඳ ඉන්දියානු දැක්ම ඉහත සඳහන් කළ ප්‍රවේශය අනුව සකස් වෙනවා. එබැවින් අප, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සමඟ සංහිඳියා ක්‍රියාදාමය ඉදිරියට ගෙනයාම ඇතුළු දෑ මගින් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය, සාමය සහ අභිමානය සඳහා දමිළ ජනතාවගේ අභිලාෂයන් ආමන්ත්‍රණය කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබෙනවා. අපගේ දැක්ම අනුව මෙය බහුවිධ සමාජයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව තවත් ශක්තිමත් කරනු ඇති.


දෙරටේම ධීවර ජනතා ගැටලු
ප්‍රශ්නය:- ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතුවල යෙදෙන ඉන්දීය ධීවරයන් පිළිබඳ ගැටලුව ශ්‍රී ලංකාව විසින් මතු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?
පිළිතුර:- ධීවර කටයුතු සහ ධීවරයන් සම්බන්ධ ගැටලුව අනිවාර්යයෙන්ම මානුෂීය කරුණක්. 1974 සහ 1976 සමුද්‍රීය ගිවිසුම් මගින් ස්ථාපිත අයිතිවාසිකම් සහ යුතුකම්හි තුළනය ධීවර කටයුතු, සම්පත් ආරක්ෂා කිරීම සහ ධීවරයන්ගේ ආරක්ෂාව යන කරුණුවලට අදාළ ප්‍රශ්න සඳහා අනිවාර්යයෙන්ම මානුෂීය ප්‍රවේශයක් වෙත නැඹුරු වෙනවා. මෙම මුහුදු කලාපය තුළ හිංසනය හෝ බලහත්කාරය භාවිත කිරීමෙන් වැළකිය යුතු බවට සහ ධීවරයන් සම්බන්ධ කරුණුවලදී මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවට වන අපගේ දිගුකාලීන ස්ථාවරය මා මෙහිදී අවධාරණය කිරීමට කැමතියි.

2020 දෙසැම්බර් මාසයේදී ඉන්දීය සහ ශ්‍රී ලංකා ධීවර ලේකම්වරුන් අතර පැවති ඒකාබද්ධ කාර්ය කණ්ඩායම් හමුවේදී සහ 2021 සැප්තැම්බර් 29 වැනි දින ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා සහ වෙරළාරක්ෂක බළකායන් අතර පැවති අන්තර්ජාතික සමුද්‍රීය සීමා හමුවේදී දෙපාර්ශ්වය ඵලදායී සාකච්ඡා පවත්වා ඇති බව මා ප්‍රකාශ කිරීමට කැමතියි. ශ්‍රී ලංකාව භාරයේ පවතින ඉන්දීය ධීවරයන්ට අයත් බෝට්ටු කඩිනමින් නිදහස් කර ගැනීමට ද අප අපේක්ෂා කරනවා.


නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය
ප්‍රශ්නය:- ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මාර්ග හරහා නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය ද ඉහළ ගොස් තිබෙනවා. ඔබ මෙම තත්ත්වය දකින්නේ කෙසේද?
පිළිතුර:- මුහුදු මාර්ග හරහා නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය වැනි දේශසීමා හරහා සිදු වන අපරාධ සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව අන්‍යොන්‍ය සුරක්ෂිතතාව සඳහා අප දෙරට විසින් දක්වන කැපවීමේ ඉතා වැදගත් කොටසක්. අප දෙරට නාවික හමුදාවන්, වෙරළාරක්ෂක බළකායන් සහ ආයතන අතර පවතින සමීප සහයෝගීතාව හේතුවෙන් මත්ද්‍රව්‍යය, අවි ආයුධ සහ වෙනත් නීති විරෝධී භාණ්ඩ තොග රැසක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන බව මා සඳහන් කිරීමට කැමතියි. ඔබගේ පාඨකයන් මෙම ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් වූ මාධ්‍ය වාර්තා දැක ඇති බවට සැකයක් නැහැ.

සමීප අසල්වැසියන් වශයෙන් අප දෙරට ආරක්ෂක අභිලාෂයන් එකිනෙකට ගැට ගැසී තිබෙනවා. සමුද්‍රීය ආරක්ෂාව මෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ද්විපාර්ශ්වික සහයෝගීතාවට අමතරව, කලාපීය සහයෝගීතාවට ද මෙහිදී ඉතා වැදගත් භූමිකාවක් ඉටු කිරීමට තිබෙනවා. 2020 නොවැම්බර් මාසයේදී ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවති ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ හමුවේදී ඉන්දියානු සාගර කලාපය තුළ සමුද්‍රීය සහ ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් වඩා සමීප සහයෝගීතාවක් ගොඩනඟා ගැනීමට තීරණය කෙරුණා. ඉන් අනතුරුව මෙම වසරේ අගෝස්තු මාසයේදී මෙම රටවල් තුනෙහි නියෝජ්‍ය ආරක්ෂක උපදේශකවරු කොළඹ ආරක්ෂක පර්ෂදය යටතේ හමු වී සහයෝගීතාව සඳහා ප්‍රධාන කුලුනු හතරක් හඳුනා ගත්තා. එම කුලුනු වන්නේ සාගර සුරක්ෂිතතාව සහ ආරක්ෂාව, ත්‍රස්තවාදය සහ අන්තවාදය, ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සහ සයිබර් සුරක්ෂිතතාවයි.

ප්‍රශ්නය:- එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමය ආරක්ෂා කරන ලෙස එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියා. ඉන්දියාව මේ සඳහා සහය ලබා දෙනවාද?


බොදු උරුමය රැකීමේ වගකීම
පිළිතුර:- බුදුන් වහන්සේගේ අමිල ඉගැන්වීම් වෙනත් රටවලට පැතිර ගියේ ඉන්දියාවෙන් වීම අපට ආශිර්වාදයක්. වර්තමානයේදී බෞද්ධ උරුමය ඉන්දියාව සහ බොහෝ රටවල් අතර වැදගත් ශිෂ්ටාචාරමය බැඳීමක් ඇති කර තිබෙනවා. සහස්‍ර වර්ෂ දෙකකට පෙර ඉන්දියාවෙන් බුදු දහමේ දායාදය ප්‍රථමයෙන් හිමි වූ රටක් වන ශ්‍රී ලංකාවට මෙහිදී හිමි වන්නේ ඉතා වැදගත් සහ සුවිශේෂී ස්ථානයක්. අප දෙරට විසින් බෙදාගන්නා ජීවමාන බෞද්ධ උරුමය මිලියන ගණනක් ජනතාව ප්‍රබෝධමත් කරන අතර එය නිරන්තර හුවමාරු, සර්වඥ ධාතු ප්‍රර්ශන, බෞද්ධ වන්දනා චාරිකා, බොදු සිද්ධස්ථාන සංරක්ෂණය කිරීම යනාදිය හරහා ශක්තිමත්ව පවත්වාගෙන ගොස් තිබෙනවා. එබැවින්, අප රටවල් තුළ පමණක් නොව සමස්ත ලෝකයේම බොදු උරුමය රැකගැනීම අපගේ අයිතියක්, වගකීමක් සහ යුතුකමක් වෙනවා.

ප්‍රශ්නය:- පසුගිය වසරේදී ඉන්දියානු රජය විසින් බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය සඳහා ප්‍රකාශයට පත් කරන ලද ප්‍රදානයේ තත්ත්වය කෙබඳුද?
පිළිතුර:- ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක විශේෂ ප්‍රදානයක් ප්‍රකාශයට පත් කළා. යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති, ධාරිතා සංවර්ධනය, සංස්කෘතික කටයුතු, පුරාවිද්‍යා සහයෝගීතාව, දෙරට අතර සර්වඥ ධාතු ප්‍රදර්ශන, ඉන්දියාව වෙත බෞද්ධ වන්දනා චාරිකා වැනි දේ හරහා බුදු දහමට අදාළව දෙරට ජනතාව අතර සබඳතා ගැඹුරු කිරීමට මෙම ප්‍රදානය උපකාරී වනු ඇති. මෙම ප්‍රදානය උපයෝගී කරගත යුතු ආකාරය පිළිබඳව මේ වන විට දෙරට ආණ්‍ඩු සාකච්ඡා කරමින් තිබෙනවා. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම ඉක්මනින් අත්සන් කිරීමට අප අපේක්ෂා කරනවා.


ශ්‍රී ලාංකික සරණාගතයෝ
ප්‍රශ්නය:- තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම තවමත් සිදු නොවූ දෙයක්. සරණාගත තත්ත්වය සහිතව ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා ප්‍රජාවට ඉන්දියාව පුරවැසිභාවය ලබා දේවිද?
පිළිතුර:- මෙය දැනට ඉන්දියාවේ සිටින ලක්ෂයකට ආසන්න ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිතවලට බලපාන ඉතා වැදගත් මානුෂීය කරුණක්. ඉන්දියාවේ සිටින අප ඔවුන් වෙනුවෙන් කළ හැකි සියලුම දේ අතීතයේදී සිදු කළාක් මෙන්ම ඉදිරියටත් සිදු කරන නමුත් ඔවුන්ගේ නිවහන ශ්‍රී ලංකාව බව පැහැදිලියි. එබැවින් ඔවුන්ට ස්වේච්ඡාවෙන් නැවතත් ශ්‍රී ලංකාවට යාම සඳහා පහසුකම් සැලසීම අපගේ යුතුකමයි. මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අවබෝධතාවක් පවතින අතර අප ශ්‍රී ලංකා රජය සමඟ තවදුරටත් කටයුතු කරනවා. එවැනි පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණි විට නැවත පදිංචි වීම සඳහා ජීවනෝපාය පැකේජයක් ලබා දීම ඔවුන්ට උපකාරී වනු ඇති.


ඉන්දියාවෙන් ඉන්ධන
ප්‍රශ්නය:- ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කරන පරිදි ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගැනීමට සහ ප්‍රමාද වූ ගෙවීම් පියවීමට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් ලබා ගැනීමට ඉන්දියානු රජය සමඟ සාකච්ඡා පවත්වමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් නවදිල්ලියේ ප්‍රතිචාරය කුමක්ද?
පිළිතුර:- බලශක්ති ක්ෂේත්‍රය ශ්‍රී ලංකාව සමඟ අපගේ සම්බන්ධතාවේ වැදගත් අංගයක්. මේ අනුව අන්‍යොන්‍ය වශයෙන් වාසිදායි සහයෝගීතාවක් ප්‍රවර්ධනය කිරීමට සහ බලශක්ති සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට අප ශ්‍රී ලංකා රජය සමඟ තවදුරටත් කටයුතු කරනවා. මෙහිලා ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට ලබා දිය හැකි සහය සම්බන්ධයෙන් ධනාත්මක සාකච්ඡා දෙරට ආණ්ඩු අතර මේ වනවිට සිදු වෙමින් තිබෙනවා.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාව තුළ චීන ආයෝජන ඉහළ යාම ඉන්දියාවේ අවධානයට යොමු වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ චීන ආධිපත්‍යය ව්‍යාප්ත වීම ඉන්දියාව දකින්නේ කෙසේද? මේ සඳහා ඉන්දියාවේ පිළිතුර “ක්වැඩ්” මත රඳා පැවතීමද?
පිළිතුර:- ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සම්බන්ධතාව අනන්‍ය සබඳතාවක් වන අතර එය වෙනත් රටවල් සමඟ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පවත්වන සබඳතාවලින් ස්වාධීනයි. ශ්‍රී ලංකාව සමඟ අපගේ දිගු කාලීන, ශිෂ්ටාචාරමය සහ විශ්වාසය පදනම් කරගත් සබඳතා දෙරට ජනතාව අතර බැඳීම් හි ශක්තිමත් පදනම මත රඳා පවතිනවා. ශ්‍රී ලංකාව සමඟ පවතින අපගේ අන්‍යොන්‍ය වශයෙන් වාසිදායි, සහස්‍ර වර්ෂ ගණනාවක් ඉපැරණි, බහු ආංශික සබඳතාවයෙහි ගැඹුර සහ අප දෙරටට පොදු ආචාර ධර්ම සහ වටිනාකම්වල යහපත උදෙසා තීරණ ගැනීමට ශ්‍රී ලංකාව සහ එහි පුරවැසියන් සතු ඥානය අප පූර්ණ වශයෙන් විශ්වාස කරනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සහ ආයෝජන ඉහළ නැංවීමට අවශ්‍ය පරිසරය සැපයුම්ද‌ාම ඒකාබද්ධ කිරීම වැනි දේ හරහා නිර්මාණය කිරීමට සැලකිය යුතු සමෝධානයන් තිබෙන බව ද මා පෙන්වා දීමට කැමතියි. යටිතල පහසුකම් සහ සම්බන්ධකතාව ඉහළ නැංවීම සඳහා වන ව්‍යාපාති කඩිනමින් නිමා කිරීමට දෙපාර්ශ්වයටම කටයුතු කළ හැකියි. මේවා ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීමට උපකාරී වනු ඇති. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල සහයෝගීතාවට පවතින අවස්ථා ද දෙරට ජනතාව සහ ආයතනවල සුබසිද්ධිය උදෙසා ප්‍රයෝජනයට ගැනීම ද මේ ලෙසම වැදගත්.
ඉන්දීය ව්‍යාපෘතිවලට ශ්‍රී ලංකාව මන්දගාමීද?

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාව තුළ පොරොන්දු වී ඇති ඉන්දියානු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කරන බව ඉන්දියාව ප්‍රකාශ කර තිබෙනවා. එය ඉන්දියාවට තවදුරටත් ගැටලුවක්ව පවතිනවාද? ඔබ ශ්‍රී ලංකාවට පැමිණියේ මෙම ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ද?
පිළිතුර:- කොව්ඩ් වසංගතය නිසා ඇති වූ අසීරුතා ඇතුළු විවිධ හේතු නිසා ඇතැම් ද්විපාර්ශ්වික ව්‍යාපෘති අපේක්ෂා කළ පරිදි ඉදිරියට ගොස් නැහැ. මෙවන් ගැටලු නියමිත කාලානුරූපව සහ අන්‍යොන්‍ය වශයෙන් සෑහීමකට පත් විය හැකි පරිදි විසඳා ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව අප ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. එසේම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉතා පුළුල් ක්ෂේත්‍ර පාරාසයක විහිදුණු බහු ආංශික සහයෝගීතාවක් සහිත නොසැලෙන සහකරුවන් බව මතක තබා ගැනීම වැදගත්. විශේෂයෙන්ම ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති රැසක් මනා ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. සාර්ථක සහයෝගීතාවක් පෙන්නුම් කරන ව්‍යාපෘති ප්‍රමාණය අප දැක ඇති අභියෝග ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස වැඩියි. ඇතැම් ගැටලු සඳහා කඩිනම් විසඳුම් හිමි වනු දැකීමට අප කැමති නමුත් අපගේ සහයෝගීතාව එම ක්‍රියාදාමය පාදක කරගෙන පමණක් නිර්වචනය කිරීමට අප කිසිසේත්ම කැමති නැහැ.

ප්‍රශ්නය:- කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් තත්ත්වය කෙසේද? මෙම වසර මුලදී සැලසුම් කර තිබුණේ අද‌ානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සමාගම (Adani Ports and Special Economic Zone Ltd) විසින් මෙම පර්යන්තය සංවර්ධනය කිරීමටයි. එය එලෙස සිදු වෙනවාද?
පිළිතුර:- ඔබ දන්නා පරිදි ඉන්දියාවේ පෞද්ගලික ආයෝජකයකු බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡාවල නිරත වී තිබෙනවා. මෙම ඉදිකර, මෙහෙයුම් ක්‍රියාත්මක කර, යළි භාරදීම සඳහා වන ගිවිසුමට පසුගිය සතියේදී අත්සන් තබා තිබෙනවා.

පුළුල් දෘෂ්ටි කෝණයකින් බැලීමේදී වැඩි වශයෙන් ඉන්දියාව සමඟ ප්‍රතිඅපනයන වෙළඳාමක් පවතින කොළඹ වරාය සංවර්ධනය සහ පුළුල් කිරීම වැනි අන්‍යොන්‍ය වශයෙන් වාසිදායි ව්‍යාපෘති සඳහා ඉන්දීය සහභාගීත්වය සහ ආයෝජන තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය සම්බන්ධකතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපට හැඟෙනවා. මෙය අපගේ වෙළඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති.

(*** විශේෂ ලියුම්කරුවකු විසිනි)