“ලංකාවේ කම්කරු නීති ලෝක ප්‍රමිතීන්ට අනුකූලව, ව්‍යාපාර හිතවාදී ලෙස ක්‍රියාත්මක කිරීමට මේ ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි. අපේ බලාපොරොත්තුව කම්කරු අයිතීන් සුරකින, ඵලදායිතාව දියුණු කරන සහ ලාංකීය ආර්ථිකයෙහි ආයෝජක විශ්වාසය වැඩි දියුණු කෙරෙන නීති රාමුවක් හැදීමයි.”
කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මීට මාසයකට පමණ ඉහතින් මාධ්‍යයට එසේ කියා තිබුණි. ඔහු තවදුරටත් අවධාරණය කර තිබුණේ, යෝජිත සංශෝධන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රඥප්තිවලට අනුකූලව, නවීන ආර්ථික යථාර්ථය පිළිබිඹු වන සේ සකස් කෙරෙන බවය.
ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ අවුරුද්දක පුනරුද පාලනය අපට කියා දෙන්නේ, කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු යැයි කියා ය. කම්කරු නියෝජ්‍ය ඇමැතිගේ කතා බහ එසේ අසන්නේ නම්, ජවිපෙ/මාලිමා ආණ්ඩුව කම්කරු නීති සංශෝධනයට පත් කර ඇති විශේෂඥ කමිටුව විසින් සංශෝධන නැතිනම් අලුත්ම නීතියක් හැදීමට නිර්දේශ කළත් එය අගමැති වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව 2017 දී මලික් සමරවික්‍රම ඇමැතිවරයාගේ පුරෝගාමීත්වයෙන් US AID ආධාර හා විශේෂඥතා සමග තනි කම්කරු නීතියක් හැදීමට ගත් උත්සාහයම වන්නේ ය.
එදා සමරවික්‍රම ඇමැතිවරයා US AID සමග ජාවාරම්කාර ඉල්ලුම සඳහා තනි කම්කරු නීතියක් හැදීමට ගත් උත්සාහය ජාතික කම්කරු උපදේශන සභාවේ වෘත්තීය සමිති මුළුමනින් ප්‍රතික්ෂේප කළේ, විදේශ වෙළෙඳාම බාර ඇමැතිට හා ඇමෙරිකානු ආණ්ඩුවේ නිල ආධාර සංවිධානයක් වන US AID සංවිධානයට මේ රටේ කම්කරු නීති සංශෝධනය කිරීමට හෝ ඊට හවුල් වීමට කිසිම අයිතියක් නැතැයි කීමෙනි. ඉන් අවුරුදු 06 ට පමණ පසුව, කිසිවකු නොසිතූ ආකාරයෙන් 2022 ජූලියේ වික්‍රමසිංහ “ආදේශක ජනාධිපති” වූ පසු ඔහුගේ ගෝලයකු වූ මනුෂ නානායක්කාර කම්කරු ඇමැති ලෙස පත් කර, කම්කරු නීති සංශෝධනය කිරීමේ ජාවාරම්කාර වුවමනාව ඉටු කිරීමට නැවත පියවර ගත්තේ ය. සේවක පාර්ශවයට වග නොවුණු, පාරදෘශ්‍යභාවයක් ද නොවුණු එය ද ජාතික කම්කරු උපදේශන සභාවේ වෘත්තීය සමිති විසින් අඩාළ කරනු ලැබීය. එදා ඒ විරෝධයට වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් වූ පෞද්ගලික අංශයේ ජවිපෙ වෘත්තීය සමිති සම්මේලනය ද එකතු විය.
දැන් ජවිපෙ/මාලිමා වෘත්තීය සමිති නායක වසන්ත සමරසිංහ ඇත්තේ නැත. දැන් ඉන්නේ වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ ය. දැන් පෞද්ගලික අංශයේ ජවිපෙ වත්තීය සමිති සම්මේලනය ද නිහඬ ය. පෞද්ගලික අංශය වෙනුවෙන් ආණ්ඩුවේ නිල ස්ථාවර ගැන අද කතා කරන්නේ එදා ජවිපෙ ගුරු සංගම් නායක වූ වත්මන් කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ ය. ඔහුට අනුව “ලාංකීය ආර්ථිකයෙහි ආයෝජක විශ්වාසය වැඩිදියුණු කෙරෙන නීති රාමුවක් හැදීම” යන්නෙන් කියන්නේ “ව්‍යාපාර හිතවාදී ලෙස ක්‍රියාත්මක කිරීමට මේ ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය” බව ය. සිහිබුද්ධියෙන් අසන්නේ නම්, ඉන් නොකියා කියන්නේ මේ රටේ කම්කරු නීති සමූහය ශ්‍රමික ළැදි නීති වන බවත් වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය නිසාත් ආයෝජකයන් නොඑන හෙයින් “ආයෝජක විශ්වාසය” වැඩි දියුණු කෙරෙන නීති රාමුවක් හදන බවය. ඒනමුත් එහි රැකියා සුරක්ෂාව හා සේවක අයිතීන් සහතික වන්නේ යැයි විශ්වාසයක් නැත.
එය අලුත් කතාවක් නොවේ. විවෘත වෙළෙඳපොළ ආර්ථිකය 1978 හඳුන්වා දෙන විට ද ජාවාරම්කාර අවශ්‍යතා නියෝජනය කරමින් මහ කොළඹ ආර්ථික කොමිසම් සභා පනත පාර්ලිමේන්තුවෙහි සම්මත කරනු ලැබුවේ, නිදහස් වෙළෙඳ කලාප තුළ වෘත්තීය සමිති සංවිධාන කිරීම හා වෘත්තීය සමිති සාමාජිකත්වයක් ලැබීම තහනම් කරමින් ය. එමගින් වැටුප්ලාභී ශ්‍රමිකයන් අතර දෙයාකාර සැලකීමකට ඉඩ හැදීමෙන්, සියල්ලන් සමානයන් යැයි සහතික කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරෙන්නේ යැයි පෞද්ගලික අංශයේ ප්‍රධාන වෘත්තීය සමිති නායකයෝ කිහිප දෙනෙක් ඊට විරුද්ධ වූහ. ඔවුන් අධිකරණය හමුවට යාම හේතුවෙන්, ජයවර්ධන ජනාධිපතිට මහ කොළඹ ආර්ථික කොමිසම් සභා පනතෙහි වූ ඒ ප්‍රතිපාදන ඉවත් කිරීමට සිදු විය. එහෙත් ඒ ජාවාරම්කාර අවශ්‍යතා පරිපාලනමය පියවර මගින් හා නීති නොතකා හරිමින් ඉටු කෙරිණ.
දශකයකට හමාරකට වැඩි කාලයක සිට ඒ වෙනුවෙන් නැවත නෛතික පසුබිම හදන්නට දූෂිත ජාවාරම්කාර පෙළැන්තිය විසින් උත්සාහ ගනු ලැබුවේ “ගොබෙල්ස්” අනුකරණය කිරීමෙනි. හිට්ලර් වෙනුවෙන් සුපිරි ජර්මානු ජාතියක් සඳහා අධිපති මතය හැදූ ගොබෙල්ස්ගේ ප්‍රවේශය වූයේ, පළමුව ජාතික විනාශයක් ලෙස අර්බුදයක් ඉදිරිපත් කිරීම ය. දෙවැනුව එහි වගකීම තමන්ගේ තේරීම් අනුව තවකකුට පැටවීම ය. තෙවැනුව ඔවුන් අර්ථ දක්වන ජාතික විනාශයෙන් රට ගලවා ගැනීමට නම්, තමන් නම් කළ හතුරා විනාශ කළ යුතු යැයි සමාජ මතයක් හැදීමය. එය ජර්මනියේ ම්ලේච්ඡ අත්දැකීමකි. පළමු ලෝක යුද්ධයෙන් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන් ජර්මනිය අනතුරුව 1929 දී ඇතිවූ ලෝක ආර්ථික අවපාතයෙන් බරපතළ ආර්ථික අසීරුවකට හසු විය. එය ජාතික විනාශයකට හේතු විය හැකි යැයි ගොබෙල්ස් මතයක් ඉදිරිපත් කළේය. ඊළඟට එයට වගකිව යුත්තේ ජර්මානු ආර්ථිකය සූරා කන යුදෙව් ජාතික වෙළෙඳුන් යැයි ඔහු කියන්නට විය. අනතුරුව, ජර්මානු දේශය රැක ගැනීමට, යුදෙව්වන් විනාශ කළ යුතු යැයි වන සමාජ මතයට ඉඩ ලබා ගත්තේය.
මෙහි ගොබෙල්ස් භාවිත වන්නේ ද එලෙසින්ම ය. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට නොහැකි වීම, ඉදිරියේ දී “ජාතික විනාශයකට” හේතු විය හැකි යැයි මතයක් තොරම්බල් කෙරෙන්නේ ය. විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට බාධාවක් වන්නේ වෘත්තීය සමිති නිසා යැයි අනතුරුව කියන්නකි. එනිසා ඔවුන්ගේ විසඳුම, වෘත්තීය සමිති ඉවත් කිරීම ය.
අවුරුද්දකට පමණ පෙර 2024 නොවැම්බරයේ ජවිපෙ/මාලිමා ආණ්ඩුව පිහිටුවූ පසු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා එතෙක් ආණ්ඩු එල්බ සිටි සාවද්‍ය දෘෂ්ටියෙහි ඔවුන්ට ද එල්බ ගන්නට සිදු වූයෙන් අතිදූෂිත ජාවාරම්කාර ආයෝජක පෙළැන්තියට හැම ආණ්ඩුවක්ම ලබා දුන් බදු සහන, වරදාන, වරප්‍රසාද සමග නොමිලේ යටිතල පහසුකම් ඔවුහු ද ලබා දෙන්නාහ. ඒ කිසිවකින් ජයවර්ධන ජනාධිපති කටුනායක නිදහස් වෙළෙඳ කලාපය විවෘත කරමින් 1978 දී කියූ “මෝටරෝලා” වැනි ලොකු ආයෝජකයන් නොපැමිණි බැව් ජවිපෙ/මාලිමා ආණ්ඩුව කියන්නේ නැත.
මෙහි පැමිණි අතිබහුතරය අන්ත දූෂිතයෝ වූහ. ඇතැම්හු හිටි අඩියේ මාස ගණන් සේවක වැටුප්, අර්ථසාධක සහ භාරකාර අරමුදල්, දස ලක්ෂ ගණන් බැංකු ණය නොගෙවා, කර්මාන්ත ශාලා අතහැර අතුරුදන් වූහ. කලක් කම්කරු ඇමැති වූ ගාමිණී ලොකුගේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී පැමිණිලිකර තිබූයේ එලෙස අතුරුදන් වන ආයෝජකයන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලබා දී ඇති තොරතුරු අනුව සොයා ගත නොහැකි බවය. එය ඉඳහිට දෙතුන් දෙනකු පිළිබඳව කියැවෙන කතාවක් නොවේ. 2010 සිට අවුරුදු 07 ක් ඇතුළත ආයෝජන මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලද, ඒ සමග බදු සහන, බදු විරාම, නොමිලේ යටිතල පහසුකම්, ඉඩම් වැනි සියල්ල බුක්ති විඳි ආයෝජක සමාගම් 721 ක් වසා දමා ගොස් ඇත. ඉන් කියන්නේ, වසරකට කර්මාන්ත ශාලා 100 කට වැඩි ගණනක් වසා දැමෙන බවය. ඒ සම්බන්ධව සන්ඩේ ටයිම්ස් වාර්තාවක් කියන්නේ, එලෙස අතුරුදන් වූ ආයෝජකයන් සම්බන්ධ ආයෝජන මණ්ඩලය ලබා දුන් සංඛ්‍යාවලට වැඩි සංඛ්‍යාවක් 2015 ජාතික විගණන වාර්තාවේ ඇති බවය.
ඊට අමතරව, ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇතිව ලබා ගන්නා සියලු බදු සහන, වරදාන වරප්‍රසාද බුක්ති විඳිමින් ඒ සමග වන කොන්දේසි නොතකා, විදේශ ආදායම් පිල්ලි ගසන මහා පරිමාණ ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ ද සිටිති.
ඇතැමුන් බංගලිදේශයේ, තමිල්නාඩුවේ සහ අප්‍රිකානු රටවල ව්‍යාපාර සඳහා ඩොලර් ආයෝජනය කර ඇත්තේ කෙසේදැයි සොයා බැලිය යුත්තේ එනිසා ය. දේශීය ව්‍යාපාරිකයන්ගේ සංවිධාන, වාණිජ මණ්ඩල හිටි අඩියේ අතුරුදන් වන ජාවාරම්කාර ආයෝජකයන් ගැන, මේ යෝධ දූෂණ වංචා ගැන වැරැදීමකින් හෝ කිසිත් කියන්නේ නැත. ඔවුන් ලොකුවට කර ගසන්නේ අපේ රටේ කම්කරු නීති හා වෘත්තීය සමිති නිසා ආයෝජකයන් එන්නට මැළි වන්නේ යැයි වන ගොබෙල්ස් කතාව ය. නාගරික මැද පාන්තිකයෝ ද මොනම සොයා බැලීමක් හෝ නැතිව ගොබෙල්ස් කතාවම කර ගසා ගෙන ඉන්නාහ.
දියුණු නවීන කළමනාකාරිත්වයක් ඇති ව්‍යාපාරිකයන්ට කම්කරු නීති හා වෘත්තීය සමිති ගැටලු නොවන බව වියට්නාමය පෙන්වන්නකි. අපට අවුරුදු 08 කට පසු 1986 දී තම රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකය ගෝලීය වෙළෙඳපොළ සඳහා විවෘත කිරීමට පියවර ගත් වියට්නාමය, 2020 වන විට ගෝලීය විශිෂ්ට ව්‍යාපාර 500 න් වියටෙල්, සැම්සුං, ඩොජි ගෝල්ඩ් ඇන්ඩ් ජෙම්ස්, නැෂ්ටෙක්, සී.එම්.සී-ග්ලෝබල් වැනි ව්‍යාපාර දුසිමකට වඩා එරටට කැඳවා ගෙන ඇත.
අතිශය දූෂිත ලාංකීය හාම්පුතුන්ගේ කම්කරු නීති හා වෘත්තීය සමිති ගැන කතා බාලාංශ කතා ලෙස හාස්‍යයට ලක් කෙරෙන්නේ වියට්නාමය 2030 වන විට ගෝලීය විශිෂ්ට ව්‍යාපාර 500 න් අඩක් කැඳවා ගැනීම සඳහා වන ඔවුන්ගේ සැලසුමට අනුව, 2019 දී ඔවුන්ගේ “කම්කරු නීති පද්ධතියට” (Labour Code) දේශීය හා විදේශීය ව්‍යාපාර සියල්ල ඇතුළත් කර තිබීමෙනි. අපගේ හාම්පුතුන් මහා බිල්ලකු යැයි මවාපාන වෘත්තීය සමිති සඳහා, වියට්නාමය ඔවුන්ගේ කම්කරු නීති පද්ධතිය මගින් නෛතික පිළිගැනුමක් ලබා දී ඇත.
එහි “අර්ථකථන” සම්බන්ධ 03 වැනි වගන්තියට අනුව, “සේවක සේවිකාවන් නියෝජනය කරන්නා වූ ආයතනයක් යනු, සේවක සේවිකාවන් විසින් සේවකයන්ගේ නීත්‍යනුකූල අයිතීන් සහ වරප්‍රසාද සාමූහිකව කේවල් කිරීමෙන් හෝ වෙනත් නෛතිකව සහතික කර ඇති පිළිවෙත් මගින් ආරක්ෂාකර ගැනීම සඳහා පිහිටුවා ගනු ලබන ස්වේච්ඡා සංවිධානයකි. අභ්‍යන්තර වෘත්තීය සමිති සහ අභ්‍යන්තර සේවක නියෝජන ආයතන ද සේවක නියෝජන සංවිධාන ලෙස පිළිගනු ලැබේ.”
එහිම 05 වැනි වගන්තිය වන “සේවකයන්ගේ අයිතීන් හා බැඳීම්” යටතේ සඳහන් වන්නේ සේවක සේවිකාවන්ට සේවක නියෝජන සංවිධාන පිහිටුවා ගැනීමට, සාමාජිකත්වය ගැනීමට, හාම්පුතා සමග සාකච්ඡා කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් තහවුරු කරන මෙන් ඉල්ලා සිටින්නට සහ සාමූහිකව කේවල් කිරීමට අයිතියක් ඇත යන්න ය.
විනයගත කම්කරු පන්තියක් වියට්නාමයේ ඇත්තේ සේවක අයිතිවාසිකම් සහතික කෙරෙන හෙයින් ය. අයිතිවාසිකම් නැති, ආත්ම ගරුත්වය අහිමි කළ පඩි ලබන සේවකයන් ඵලදායි ශ්‍රමිකයන් නොවන බවත් එවැනි පිරිස් කලහකාරී පිරිස් වන බවත් වියට්නාම් පාලකයන් පිළිගත්තකි. අයිතිවාසිකම් ඇති විනයක් සහිත කම්කරු පන්තියක් හමුවේ දූෂිත ජාවාරම්කාර පෙළැන්තියකට වැදගත් ව්‍යාපාර කළ නොහැකි බවත් වියට්නාමය පෙන්වන්නකි. එබැවින් කම්කරු ඇමැතිට හා නියෝජ්‍ය ඇමැතිටත් කම්කරු නීති හදන්නට ජවිපෙ/මාලිමා ආණ්ඩුව පත් කළ විශේෂඥ කමිටුවටත් කිව යුත්තේ ගොබෙල්ස් කතා පැත්තකින් තබා, කම්කරු නීති සංශෝධනයට පෙර රජයටත් බැංකුවලටත් සේවක සේවිකාවන්ටත් රුපියල් කෝටි ගණන් පොලු තියා හිටි අඩියේ අතුරුදන් වන දූෂිත ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගෙන් තොර, අයිතිවාසිකම් සහතික කෙරෙන, ආත්ම ගරුත්වයක් ඇති ශ්‍රම බළකායක් සමග දියුණු කළමනාකාරිත්වයක් යොදා ගන්නා අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයක් තහවුරු කිරීමට පියවර ගන්නා මෙන් ය. වියට්නාමයට මෙන් දියුණු, මහා පරිමාණ ගෝලීය ආයෝජකයන් එන්නේ එවිට ය.
*** කුසල් පෙරේරා

