සියයට තුනේ වාහන දඩය: ආනයනකරුවෝ - රජය කඹ ඇදිල්ලක


උපුල් වික්‍රමසිංහ

ආනයනික වාහනයක් මාස තුනක් ඇතුළත අලෙවි කිරීමට නොහැකි වුවහොත් අය කරනු ලබන සියයට 3 ක දඩය නිසා මසකට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ හතර දක්වා දඩමුදල් ගෙවීමට සිදුවීමෙන් වාහන ආනයන කර්මාන්තයට අහිතකර බලපෑම් එල්ල වී ඇති බව වාහන ආනයන සංගම් කියයි.

ඒ අනුව වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකට මසකට රුපියල් පනස්දහස ඉක්මවන මුදලක් ද ටෝයෝටා යාරිස් වර්ගයේ මෝටර් රථයකට රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් ද හොණ්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථයකට රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලක් ද ටොයෝටා ඩබල් කැබ් රථයකට රුපියල් ලක්ෂ හතරක පමණ මුදලක් ද දඩ වශයෙන් ගෙවීමට සිදුවෙන බව එම සංගම් නියෝජිතයෝ පවසති.
 
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ මෙම දඩය හේතුවෙන් වාහන වෙළෙඳපොළේ නිදහස් ක්‍රියාකාරිත්වයට බාධා ඇති කරනු ලබන බවත් වාහන අලෙවි කරන්නන් සහ පාරිභෝගිකයන් ගැට ගසා ඇති බවත් ය.
 
වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන්ට ඒ සඳහා ණයක් ලෙස ලබා ගත හැක්කේ වාහනයේ මුළු වටිනාකමෙන් සියයට 50 ක ණය මුදලක් හෙයින් එමගින් වාහන මිලදී ගන්නා අයගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙන බව කී ඔහු එයින් ද කර්මාන්තයට අහිතකර බලපෑම් එල්ල වෙන බව ද සඳහන් කළේ ය.
 
මෙම දඩ මුදල් ප්‍රතිශතය සියයට 1 දක්වා අඩු කරන ලෙස හෝ මාස තුනක කාලය මාස 6 දක්වා දීර්ඝ කරන ලෙස හෝ රජයෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කීවේය.
 
වාහන ආනයනකරුවකු වන ජයත් රත්නසිරි ඉරිදා ලංකාදීපයට පැවසුවේ මෙම මාසයට පමණක් මේ දක්වා රුපියල් ලක්ෂ 6කට වැඩි මුදලක් දඩ වශයෙන් ගෙවා ඇති බවත් මෙම දඩය සිය ව්‍යාපාරික කටයුතුවලට අහිතකර ලෙස බලපාන බවත්ය. එබැවින් මෙහි වෙනසක් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.
 
අප මේ සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීරගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අදාළ දඩ මුදල් ප්‍රතිශතය වෙනස් කරන ලෙස ඉල්ලීම් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවත් ය. එහෙත් සාකච්ඡා සිදුවෙමින් පවතින බව ද ඔහු අනාවරණය කළේ ය.
 
“වාහන ආනයනය මගින් විදේශ විනිමය රටින් පිටට ගලා යෑම සීමා කිරීම සඳහා තමයි මේ දඩය පැනවුවෙ. වාහන ආනයනයට අවසර දුන් පසු බලාපොරොත්තු වුණේ වසරකට ඩොලර් බිලියන 1.2 ක් වැය වෙයි කියලා. ඒත් මේ වෙන කොට ඩොලර් බිලියන 2.2 ක් වැය වෙලා තියෙනවා. මේ නිසා වාහන ආනයනකරුවන් රටට ගෙන්විය යුත්තේ මාස තුනක් ඇතුළත විකිණිය හැකි වාහන විතරයි. මේ දඩය ගැන වාහන ආනයනකරුවන් මුල සිටම දන්නවා. එහෙම තියෙද්දී වාහන වැඩියෙන් රටට ගෙන්නුවම විදේශ විනිමය වැඩි වශයෙන් එළියට යනවා. මේක වෙනස් කරන්න ඉල්ලීම් ලැබිලා තියෙනවා. තවම අවසන් තීරණයක් අරගෙන නෑ. සාකච්ඡා පැවැත්වෙනවා.” නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.