බලශක්ති අර්බුදයට විසඳුමක් නිවසේ සිට රාජකාරි වැඩට රජයේ අවධානය!


සුජිත් හේවාජුලිගේ

බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස රාජ්‍ය අංශයේ තෝරාගත් සේවා අංශයන්හි සේවකයන් නිවසේ සිට රාජකාරි කටයුතු සඳහා යෙදවීමේ වැඩ පිළිවෙළ (Work from Home) ක්‍රියාවේ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සුමන ආලෝක බණ්ඩාරගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් යෝජනා ඉදිරිපත්ව ඇති බවයි.

බලශක්ති අර්බුද මතුවන අවස්ථාවල දී ලෝකයේ බොහෝ රටවල මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. මේ වන විට වියට්නාමයේ එය ක්‍රියාවට නංවා තිබේ.

නිවසේ සිට රාජකාරි සේවා කටයුතු කිරීමේ වැඩපිළිවෙළ කොවිඩ් උවදුර පැවති සමයේ ක්‍රියාත්මක කෙරිණ.

මැදපෙරදිග යුද තත්ත්වයට සමාන්තරව බලශක්ති අර්බුදයක් මතුවීම හේතුවෙන්, පසුගියදා මෙරට ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කෙරිණි. තෙල් සැපයුම්වලට තවදුරටත් අවහිරතා ඇති වුවහොත්, නැවතත් ඉන්ධන මිල ගණන් වැඩිකිරීමට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීහු පෙන්වා දෙති.

මේ අතර බලශක්ති අර්බුදයට තාවකාලික විකල්ප විසඳුමක් ලෙස, ඉන්ධන ලබා ගැනීමට “කිව්.ආර්.”‍ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුවී ඇත.