සුජිත් හේවාජුලිගේ
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ප්‍රධාන පෙළේ දේශපාලන නායකයකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි. එම අත්අඩංගුවට ගැනීම බොහෝ දුරට ඉදිරි දිනවලදී කෙරෙනු ඇතැයි පැවසේ. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයකු හෙළිදරව් කර ඇති තොරතුරු අනුව මෙම දේශපාලනඥයා අත්අඩංගුවට ගැනෙන බව දැනගන්නට ඇත.
මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වන අධිකරණ, ජාතික ඒකාබද්ධතා සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරන්නේ එම විමර්ශන කටයුතු දිගටම කරගෙන යන බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන කටයුතු කරයි. පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී ප්‍රකාශයක් කර ඇති බව සඳහන් වෙන මන්ත්‍රීවරයෙකුගේ ටිවිටර් (එක්ස්) පණිවුඩය සම්බන්ධයෙන්ද රටේ මහත් ආන්දෝලනයක් මතු වී ඇත.