ජල විදුලියට - වගා වැඩට මැයි මැද තෙක් ජලය ප්‍රමාණවත් ඉන් පසු නොවැස්සොත් ගැටලු - වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්


  • ජල විදුලි නිෂ්පාදනය සියයට 20 දක්වා පහතට 

උපුල් වික්‍රමසිංහ

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙන ජලාශවලින් මැයි මැද තෙක් ජලවිදුලිය උත්පාදනය හා වගා කටයුතු සඳහා කිසිදු ගැටලුවකින් තොරව ජලය නිදහස් කළ හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු කිත්සිරි වැලිගෙපොලගේ ‘ඉරිදා ලංකාදීප’යට ප්‍රකාශ කළේය.

වික්ටෝරියා, රන්දෙණිගල ඇතුළු ජලවිදුලි උත්පාදනයට ජලය සපයන ජලාශවල ජල මට්ටම සියයට 75-80 අතර අගයක පවතින බවත් කෘෂිකාර්මික කටයුතුවලට ජලය ලබා දෙන අතරතුර එම ජලාශවලින් ජලවිදුලි උත්පාදනය සඳහා ද මෙසේ ජලය නිකුත් කළ හැකි බවත් ඔහු පවසයි.

යල කන්නය ආරම්භ වී ඇති බැවින් ජලය වැඩිවශයෙන් භාවිත වන බව පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙන ජලාශවලින් ජුනි මස අග දක්වා කෘෂි ඉඩම්වලට ජලය ලබා දිය හැකි බව ද සහතික කළේ ය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 75 අගයක (අප්‍රේල් 3 වැනිදා වෙනවිට) පවතින බව ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශවල ජල ධාරිතාව සියයට 90 ක් ද අම්පාර සියයට 70 ක් ද හම්බන්තොට සියයට 80 ක් ද වශයෙන් පවතින බව ද හෙතෙම කීවේ ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇති පරිදි මැයි මැද වෙනවිට වර්ෂාව ලැබුණ හොත් කිසිදු ගැටලුවක් ඇති නොවන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා, කෙසේ වෙතත් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේ ය. මේ වෙද්දී ජලවිදුලි උත්පාදනය සියයට 20 දක්වා අඩු වී ඇති බව ද ඔහු කීවේ ය.