- ඇල්ල බස් අනතුරෙන් 15 දෙනකු මිය ගොස් 18 දෙනෙකුට තුවාල
- අනතුරට හේතුව තිරංග ක්‍රියාත්මක නොවීම - පොලිසිය කියයි
- මියගිය අයකුට ලක්ෂ 10 බැගින් වන්දි
ගයාන් සූරියආරච්චි
ඇල්ල, වැල්ලවාය ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්ව ඇත්තේ එහි තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බව ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න ‘ඉරිදා ලංකාදීප‘ යට පැවැසීය.
අනතුරට ලක්වූ ස්ථානයට පෙර තිබූ වංගුවේ දී බසයේ තිරිංග නොමැති බව එහි සිටි පුද්ගලයන්ට රියැදුරු පවසා ඇති බව විමර්ශනවල දී අනාවරණය වූ බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසිපතිවරයා කීය.
“වංගුවක් ගද්දි රියැදුරා කිව්වා “බ්‍රේක් නෑ” කියලා. මම හිටියේ බොනට් එක උඩ. “බොරු කියන්න එපා” කියලා කොන්දොස්තර හිනා වුණා. ඒ ළඟ හිටපු කෙනෙකුත් හිනා වුණා. එතකොට දෙවැනි පාරටත් “නෑ ඇත්තටම බ්රේක් නෑ” කියලා එක පාරටම කපන්න ගත්තා. එතකොට තමා දන්නේ ඇත්තටම බ්රේක් නෑ කියලා. ඉස්සරහින් වාහනයක් ආවා. ඒකේ වැදිලා තමයි පල්ලමට ගියේ” යැයි මේ සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බස් රථයේ ගමන් කළ අයෙක් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියෝය.
තංගල්ල නගර සභාවේ ලේකම් ටී. ඩබ්ලිව්.කේ. රූපසේන ඇතුළු නගර සභා සභා සේවකයන් 12 දෙනකු, කුඩා දරුවන් දෙදෙනකු සහ බස් රථයේ රියැදුරු ඇතුළු 15 දෙනෙක් එම අනතුරින් මියගියහ.
තංගල්ල නගර සභාවේ සේවකයන් සිය පවුල්වල සාමාජිකයන් සමග විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් පෙරේදා (4දා) රාත්‍රී එසේ අනතුරට ලක්ව තිබුණි.
තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් රැගෙන නුවරඑළියේ විනෝද චාරිකාවක් ගිය පෞද්ගලික බස් රථයක්, ඇල්ල - වැල්ලවාය ප‍්‍රධාන මාර්ගයේ 15 කණුව වංගුව අසලදී මාර්ගයෙන් ඉවතට පැන, ඒ අසලින් ගමන් කළ ජීප් රථයක ගැටී ගැඹුරු ප‍්‍රපාතයකට පෙරළී තිබේ.
එම බස් රථය, සුඛෝපභෝගී මෝටර් රථයක ද ගැටී අඩි 1000 ක් පමණ ප්‍රපාතයට පෙරළී තිබූ බවද එම අනතුරෙන් දරුවන් 5 දෙනකු ඇතුළු 18 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ඉකුත් මැයි මාසයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 22 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තවත් පුද්ගලයන් 35 ක් පමණ තුවාල ලබා රෝහල්ගත කෙරිණ.
ගැරඬිඇල්ල අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබූ අතර එහි සභාපති වශයෙන් වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කටයුතු කළේය. එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා 30 කට අධික නිර්දේශ සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කමිටු වාර්තාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලට ඉකුත් ජුනි මාසයේ ඉදිරිපත් කළේය.
04 දා සිදුවූ අනතුර සම්බන්ධයෙන් කළ විමසීමක දී සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ එම බස් රථය ඔවුන්ගේ සංගමයේ බස් රථයක් නොවන අතර සිය සංගමයේ බස් රථවල තත්ත්වය වසරකට වරක් පරීක්ෂා කිරීම් සහ රියැදුරන් සම්බන්ධයෙන් ද සොයා බැලීම් කරන බවය. මියගිය පුද්ගලයන් වෙනුවෙන් එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක් බැගින් වන්දි ලබාදීමට රජය තීන්දු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.