”දුමින්ද මාසේ අන්තිමට උසාවි එනවා”


සිංගප්පුරුවේ මවුන්ට් එලිසැබෙත් රෝහලේ දී මේ මාසය අවසානයේදී තවත් සැත්කමකට මුහුණ දීමෙන් පසුව නඩුවට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ලංකාවට එතියි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කොළඹ වැඩ බලන මහේස්ත‍්‍රාත් උසාවියට දැන්වීය. මහින්ද රාජපක්‍ෂ ජනපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අදත් කැඳැවිණි. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා ඇසුවේ සැකකරුවකු ලෙස නම් කළ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන ඇද්ද යන්නයි. රහස් පොලිසිය කීවේ ඔහුගෙන් කටඋත්තරයක් ලියාගත් බවයි. ඒ ගැන නීතිපති උපදෙස් පතා ඇතැයි ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉන්ටර්පෝල් පොලිසිය මගින් වරෙන්තුවක් නිකුත් කරන්නැයි වලලියද්ද මහතා ඉල්ලා සිටියේය. අධිකරණයෙන් නියෝගයක් නිකුත් නොකැරිණි. සැකකරුවෝ 16 දෙනා ලබන හතර වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.