“සහන වෙනුවට ආණ්ඩුවෙන් ජනතාවට අසහනය’’


(නිමල කොඩිතුවක්කු)

පවතින ව්‍යසනකාරී මොහොතේ සහන වෙනුවට අසහනය ජනතා කර මත පැටවීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රටට සෞභාග්‍යය රැගෙන එන බවට පුරසාරම් දෙඩූ අභිනව මුදල් අමාත්‍යවරයා පත්වූවාට පසුව, ඊට පෙර පැවැතියාටත් වඩා උග්‍ර ලෙස බඩු මිල ඉහළ ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා සදහන් කරයි.

"නිරෝධායනය වන ජනතාවට ලබා දෙන සහන මල්ල උදුරාගත් ආණ්ඩුව ඉන් අනතුරුව අසරණ ජනතාව ඉලක්ක කොටගෙන තවත් මරු පහරක් එල්ලකොට තිබේ.

ඒ එතෙක් ලබාදුන් රු.5000/=දීමනාව වෙනුවට රු.1998ක "ඊනියා සහන මල්ලක්"ලබා දෙන්නට තීන්දු කිරීම ය. එයද ඇනවුම් කළවිට අයකිරීමකින් තොරව නිවසට එවීම සම්බන්ධයෙන් ආණ්ඩුව කරන ප්‍රකාශ සාවද්‍ය ය. පසුගිය සතියේ සීනි කිලෝවක මිල රුපියල් 160 පැවැති අතර සතියක් තුළ සීනි කිලෝවක් රුපියල් 50 කින් පමණ ඉහළ ගොස් තිබේ. මිල පාලනය ආණ්ඩුවෙන් ගිලිහී ඇති ආකාරය එයින්ම පැහැදිළි වෙයි.

වෙළෙඳපොළ තුළ අසාමාන්‍ය ලෙස කිරිපිටි හිඟයක් දක්නට ඇති අතර,ඉන්ධන,ගෑස්,හාල්, ඖෂධ,පාන් ඇතුලු බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇත.

මේ තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ දැඩි අවධානය යොමුව ඇති අතර කඩාවැටී ඇති සහ කඩාවැටෙමින් ඇති ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව ගනු ලබන ප්‍රායෝගික ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව අපි දැඩි උවමනාවෙන් යුතුව සිටින බවද දන්වා සිටිමු.