“විදෙස්ගතව පැමිණෙන්නන්ගේ පී.සී.ආර් කිරීමට ගුවන් තොටුපලේ පහසුකම් මදි’’



( ඩයනා උදයංගනී)

විදේශගතව සිට පැමිණෙන අයගේ පී.සී.ආර් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට තරම් ධාරිතාවයක් කටුනායක ගුවන් තොටුපල පර්යේෂණාගාරයන්හි නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

එහි දැනට සිදුකරන්නේ විදේශගත වන අය සඳහා අවශ්‍ය පරීක්ෂණ පමණක් බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

එහි පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීම සඳහා මේ වන විට කටයුතු සිදුවන බවත් ඒ අනුව ඉදිරියේ දී විදේශවල සිට පැමිණෙන්නන්ගේද පරීක්ෂණ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් හේමන්ත හේරත් මහතා කීවේය.

හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විදේශවල සිය පැමිණෙන අයටත් ගුවන් තොටුපල තුළ පරීක්ෂණ කිරීමේ පහසුකම් නොමැති නිසා දැනට හෝටල් සහ රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඔවුන් යොමු කර පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළේය.