(ඩයනා උදයංගනී)
රට වසාදැමීමක් නොකළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ අවස්ථාවේ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් එහි නොසිටි බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මෙම තීරණය ගනු ලැබූ පසුගිය සතියේ කැබිනට් රැස්වීමට මෙම අමාත්‍යවරුන් පැමිණ සිටියත් ඔවුන් එය අවසන්වීමට පෙර පක්ෂනායක රැස්වීමක් සඳහා පිටව ගිය බව ද අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
එදින කැබිනට් මණ්ඩල රැස්වීම රාත්‍රී 10.10 පමණ වන තුරු පැවති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්‍ෂ නායක රැස්වීමක් එදින රාත්‍රී 8.00ට කැඳවා තිබූ නිසා පක්ෂ නායකයින් ද වන මෙම අමාත්‍යවරු රාත්‍රී 9.00ට පමණ ඉන් පිටව ගිය බවත් ඇමතිවරයා කීවේය.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
රට වසා නොදැමීමට අමාත්‍ය මණ්ඩලය ඒකමතික තීරණයක් ගන්නා විට ඔවුන් ඉන් පිටව ගොස් සිටි අතර රාත්‍රී කාලයේ දී අදාළ තීන්දුව එම තිදෙනාට දැනුම්දීමට හැකියාවක් නොතිබූ බව ද සඳහන් කළේය.
ඔවුන් එදින පැවති පක්‍ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුව රට වසා දමන්නැයයි ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබූ බවද ඇමතිවරයා කීවේය.
ලෝකයේ ඕනෑම සන්ධාන දේශපාලනයක් තුළ විවිධ මතගැටුම්, යෝජනා, අදහස් ක්‍රියාත්මක පවතින බව කී ඩලස් අලහප්පෙරුම මහතා වත්මන් ආණ්ඩුව අභ්‍යන්තර අර්බුදයක් ගැන කතා කිරීමට තරම් ආණ්ඩුව රෝගී වී නැති බවත් එය නිරෝගී ආණ්ඩුවක් බවත් ප්‍රකාශ කළේය.

