“දූෂණ වංචා සෙවීම වෙනුවට පණිවිඩකරු දඩයම් කිරීම අනුමත කරන්නේ නෑ’’


(ඩයනා උදයංගනී)

දූෂණයක් වංචාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව සොයා වැරදි කළ අයට දඬුවම් කිරීම වෙනුවට පණිවුඩකරුවන් දඩයම් කරන්නාක් මෙන්  දූෂණ හෙළිකළ මාධ්‍යවේදීන්ට හිරිහැර කරන්නටයාම අනුමත කළ නොහැකි බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුව මාධ්‍යවේදීන්ට හිරිහැර කරන ආණ්ඩුවක් නොවන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම, මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබියදීත් එහි නිලධාරීන් ලංකාදීප පුවත්පත් ආයතනය ඇතුළු මාධ්‍ය ආයතන වෙත යාම ගැටලුවක් බව ද ඇමතිවරයා කීවේය.

එබැවින් ඒ සම්බන්ධයෙන් මෙන්ම හෙළිවී ඇති දූෂණ වංචා පිළිබඳව ද පරීක්‍ෂණ කර වරදකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (30) පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.