මේ දිනවල වැඩිම පිරිසකගේ වැඩිම විරෝධයකට භාජනය වන ආයතනය මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයි. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ගුරු සංගම් මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේද විරෝධයට පාත්‍ර වී ඇති සයිටම් ආයතනයට එල්ලවන චෝදනා ගැන එහි සභාපති දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතාගෙන් විමසීමු.
ප්‍රශ්නය - මාලබේ සයිටම් ආයතනය ආරම්භ කළේ ඇයි?
පිළිතුර - 250,000 ක් උසස් පෙළ විභාගයට වාඩි වෙලා සිසුන් 100,000 ක් විභාගය සමත් වෙලා විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් ලැබුණත් පහසුකම් මත බඳවා ගන්නේ 18,000 යි කියා 2007 වසරේ දී එදා හිටපු උසස් අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වරණපාල මහතා කිව්වා. ඒ නිසා පෞද්ගලික අංශයේ මුදල් තියෙනවා නම් කවුරුන් හරි අධ්‍යාපනයට ආයෝජනය කරන්න කිව්වා.
එදා මට තිබුණේ ආශා සෙන්ට්‍රල් රෝහල. එය මං මිලියන 1600 ට වික්කා. ඉතින් මගේ අතේ තිබුණා සෑහෙන මුදලක්. මම විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන්න කැමැති බව ඇමැතිතුමා හමුවෙලා කිව්වා. විශ්ව විද්‍යාලයක් පටන්ගන්න කියා එතුමා සන්තෝසෙන් කිව්වා.
පළමුවෙන්ම මම කළේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ගාමිණී සමරනායක මහතා හමුවී විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන්න අවසර ඉල්ලුවා. විශ්ව විද්‍යාල පනත යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකට අවසර දෙන්න බැරි බව සමරනායක මහතා ලිපියකින් මට දැන්වුවා. බැහැයි කියන වචනේ මම පිළිගත්තේ නෑ. ඒ වන විටත් ලංකාවේ ආයෝජන මණ්ඩලය යටතේ විශ්ව විද්‍යාල 125ක් පමණ තිබුණු බව මම දැනගෙන හිටියා. එකල ආයෝජන මණ්ඩල සභාපති ලෙස සිටි ධම්මික පෙරේරා මහතා හමුවී විශ්ව විද්‍යාලයක් අරඹන බව කිව්වා. ඔහු අවසර දුන්නා. වෛද්‍ය පීඨයක් ආරම්භ කරද්දි සෞඛ්‍ය ඇමැතිගෙන් අවසර ගත යුතු බව ඔහු ප්‍රකාශ කළා.
ප්‍රශ්නය - වෛද්‍ය උපාධියක් පිරිනැමීමේ අදහසක් සයිටම් ආරම්භයේදිම තිබුණද?
පිළිතුර - ඔව්. මම ආයෝජන මණ්ඩලයට යොමු කළ ඉල්ලුම් පත්‍රයේ දමා තිබුණා ‘හෙල්ත් සයන්සස්‘ කියා. ‘හෙල්ත් සයන්සස්‘ කියන එකේ අංශ ගොඩක් තිබෙනවා. වෛද්‍ය, දන්ත වෛද්‍ය, සම සෞඛ්‍ය, බීඑස්සී වගේ ඔක්කොම තිබෙනවා. මම ඉල්ලුවේ එයයි.
නැගෙනහිර විශ්ව විද්‍යාලයයේ ‘යුනිවර්සිටි ඔෆ් හෙල්ත් සයන්සස්‘ කියා තිබෙන්නේ. නමුත් පිරිනමන්නේ එම්.බී.බී.එස් උපාධියයි.
කැනඩාවේ ‘මැක් මාස්ටර්‘ විශ්ව විද්‍යාලයේ හෙල්ත් සයන්සස් කියා තිබෙනවා. නමුත් පිරිනමන්නේ එම්.බී.බී.එස්. අපට විරුද්ධව හැමෝම කෑගහද්දි බැරිම තැන එදා හිටපු සෞඛ්‍ය ඇමැති පංච පුද්ගල කොමිටියක් පත් කළා. එහි සභාපති ලෙස පත්කළේ රවීන්ද්‍ර රුබේරු. ඔහුට පරිපාලන දක්ෂකමක් තිබුණේ නෑ. එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ‘සවුන්ඩ් බොක්ස් එක‘ බලාපු එකට විතරයි ඔහු එතනට දැම්මේ.
මොහු හෙල්ත් සයන්සස් කියන්නේ මොකක්ද දන්නේ නැතිව අර්ථ නිරූපනය කළා මම මෙඩිසින් ඉල්ලුවේ නැහැයි කියා. මම ඉල්ලුවේ ‘මෙඩිසින්‘ නොවෙයි. ‘මෙඩිසින්‘, ‘ඩෙන්ටල් සර්ජරි‘ ඔක්කොම තිබෙන ‘හෙල්ත් සයන්සස්‘. එදා ගත්ත වැරදි තීරණය නිසා තමයි අදත් මට ගැටළු තියෙන්නේ.
ප්‍රශ්නය - සයිටම් (SAITM) මුලින් ලියාපදිංචි කළේ එම් අකුරින් ‘මැනේජ්මට්‘ (කළමනාකරණ) යනුවෙන් කියමින්. එය ‘මෙඩිසීන්‘ (වෛද්‍ය) කළේ කොහොමද?
පිළිතුර - මම මුලින් පටන් ගත්තේ ‘සවුත් ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලජි ඇන්ඩ් මැනේජ්මන්ට්‘ (තාක්ෂණ සහ කළමනාකරණ දකුණු ආසියා ආයතනය) කියලයි . නමුත් ඉල්ලීම තිබුණේ ‘මෙඩිසින්‘ (වෛද්‍ය) වලටයි.
ඕනෑම ලියාපදිංචි සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයට පුළුවන් එහි නම වෙනස් කරන්න. සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කළවිට එම නම පාවිච්චි කළ හැකියි. එය දන්නේ නැතිව අපි විශාල හොරකමක් කළ විදියටයි කිව්වේ. දන්නේ නැති කෙහෙල්මල් නොකියා ඉන්න ඕනෑ. ඒ නිසා තමයි වෛද්‍ය විද්‍යාව ඉල්ලුවේ නැහැයි කියා අදත් මිනිස්සු කෑ ගහන්නේ.
ප්‍රශ්නය - සයිටම් ආයතනය විදේශීය විශ්ව විද්‍යාලයක ශාඛාවක්ද?
පිළිතුර - ඇත්ත. අපේ තිබුණා ‘එම්. ඕ‘ කියලා ගිවිසුමක්. අදත් ඒ විශ්ව විද්‍යාලයෙන් මහාචාර්යවරුන් එනවා උගන්වන්න. පසුගිය අවසන් විභාග දෙකටම ආවා.
ප්‍රශ්නය - සයිටම් සිසුන්ට සායනික පුහුණුව සඳහා ඔබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පහසුකම් මදි බවට චෝදනා එල්ල වෙනවා?
පිළිතුර - නෑ. අපේ පළමු වැනි කණ්ඩායම් දෙකේ හිටියේ සිසුන් 25 බැගින්. ඒ අයට සායනික පුහුණුවට ඇතිවෙන්න රෝගීන් හිටියා. එක ශිෂ්‍යයකුට රෝගීන් හත් දෙනකු සිටිය යුතුයි. ඒ ප්‍රමාණය අපට හිටියා. පළමු වැනි කණ්ඩායම් දෙකෙන් පසුව එන ළමයින්ටයි අපි රජයේ රෝහල් දෙකක් ඉල්ලා තිබුණේ. ඉස්සෙල්ලා අවිස්සාවේල්ල රෝහල ඉල්ලූ විට හිටපු ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කැමති වුණා එය දෙන්න. නමුත් රාජිත සේනාරත්න මහත්මයා එය ක්‍රියාත්මක නොකළ නිසා අපේ ළමයින් නඩුවක් දැම්මා. ඒ නඩුවෙන් අපිට සායනික පුහුණුව සඳහා අවිස්සාවේල්ල සහ කඩුවෙල රෝහල් ලැබුණා. ප්‍රජා සෞඛ්‍ය සඳහා කඩුවෙල නගර සභාව ලැබුණා. උසාවියෙන් අවසර ලැබිලා අවිස්සාවෙල්ල රෝහලට ගිය අවස්ථාවෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් බෝඩ් උස්සන් හිටියා. නමුත් එහි විශේෂඥ වෛද්‍යවරුන් ඔක්කොම මේ ළමයින්ට ඉගැන්නුවා. ඔවුන් මේ ළමයින් ගැන සෑහීමකට පත් වුණා.
ප්‍රශ්නය - කිසිම ගැටළුවක් නැතිව සායනික පුහුණුව ලබා ගන්න හැකිවුණාද?
පිළිතුර - අපේ සිසුන් සායනික පුහුණුව ලබා ගත්තේ රෝහල්වලට මුදල් ගෙවලයි. එක් විෂයකට රුපියල් 50,000 ක් බැගින් විෂයන් තුන සඳහා සෑම සිසුවකුම රුපියල් 150,000 ක් ගෙව්වා.
ප්‍රශ්නය - නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයට බාර දීමට ඔබ කැමැත්තෙන් පසුවන බව රජයේ ඇමැතිවරයෙක් ප්‍රකාශ කළා. ඒ ඇත්තද?
පිළිතුර - ඇත්ත. තවම සාකච්ඡා කරගෙන යනවා. මම මිලියන 2000 ක් වියදම් කරමින් ඉදි කළ රෝහල රජයට දෙන්න මම කැමති වුණා. හැබැයි මහාචාර්ය යුනිට් පහ පාලනය කරන්නේ සහ පඩි නඩි ගෙවන්නේ සයිටම් ආයතනයෙන්.
ප්‍රශ්නය - නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට බාර දීමට කල්පනා කළේ පාඩු ලබන නිසා බවට සමහරුන් කරන චෝදනාවට ඔබ මොකද කියන්නේ?
පිළිතුර - නෑ පාඩුවක් නෑ. අපි බොහෝ දෙනකුට නොමිලයේ බේත් දෙන්නේ. එතකොට ලාබයක් ගන්න බැහැනේ. මම ඒ කාලේ ඉඳන්ම කිව්වා ලාබ ගන්න නොවෙයි රෝහල හැදුවේ. සල්ලි හම්බුකරන්න ඕනෑ නම් මම කොළඹ රෝහලක් හදනවා. එහෙම නම් කිසි ප්‍රශ්නයක් නැහැ.
ප්‍රශ්නය - සයිටම් ආයතනයට මේ වන විට කණ්ඩායම් කීයක් බදවා ගෙන තිබෙනවාද?
පිළිතුර - කණ්ඩායාම් 10ක් පමණ ඉන්නවා.
ප්‍රශ්නය - සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබා කීදෙනෙක් පිටව ගියාද?
පිළිතුර - සිසුන් 50ක් පමණ උපාධිය ලබාගෙන තිබෙනවා.
ප්‍රශ්නය - සයිටම් ආයතනයේ ප්‍රමිතියක් නැති බවට වෛද්‍ය සභාව චෝදනා කරනවා. ඒ චෝදනාව ගැන ඔබ මොකද කියන්නේ?
පිළිතුර - මම පිළිගන්නේ නෑ. ප්‍රමිතියක් තියෙන්න නම් නිර්දේශිත අවම සුදුසුකම් තිබිය යුතුයි. එය නැතිව ප්‍රමිතිය මනින්න බෑ. අපිට විතරක් නොවෙයි රජයේ ඒවටත් නෑ. එහෙම නැතුව තමයි වෛද්‍ය සභාව ක්‍රියාත්මක වෙන්නේ.
ප්‍රශ්නය - වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීගේ දියණියත් ඔබේ ආයතනයේ ඉගෙනුම ලැබූ බව රජයේ ඇමැතිවරයෙක් කිව්වා?
පිළිතුර - ඉගෙන ගත්තා. හොර වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරලා එයාව අස් කළා. දැන් කඩුවෙල උසාවියේ නඩු දාලා තියෙනවා. වැරදි දිවුරුම් ප්‍රකාශයක් දී තිබුණා. වැරදි දිවුරුම් ප්‍රකාශයක් දුන්නොත් අවුරුදු දෙකකට හිරේ යන්න වෙනවා. ලේඛකාධිකාරීටත් එහෙම වෙයි.
ප්‍රශ්නය - සයිටම් ආයතනයට සිසුන් බඳවා ගන්නා මූලික සුදුසුකම් මොනවාද?
පිළිතුර - සී එකයි එස් දෙකයි තමයි අපේ අවම සුදුසුකම. නමුත් ඒ තුනක් ගත් අයත් අපේ ඉන්නවා. අපි ළමයින්ට ශිෂ්‍යත්ව ලබා දී තිබෙනවා.
ප්‍රශ්නය - හිටපු ජනාධිපතිවරයා සයිටම් ආයතනයට යෑමට සිසුන් 10 දෙනකුට ශිෂ්‍යත්ව අරගෙන දුන් බවට පසුගියදා කියැවුණා. එය ඇත්තක්ද?
පිළිතුර - හිටපු ජනාධිපතිතුමා ඉල්ලුවේ නෑ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස සිටි මල්කාන්ති චන්ද්‍රසේකර මැතිනියගෙනුයි ඉල්ලීම ආවේ. ළමයි දහ දෙනාට ශිෂ්‍යත්ව දෙන්නම් කියා මම කිව්වා. මල්කාන්ති මැතිණිය කිව්වා එහෙනම් ජනාධිපතිතුමා අතින් දෙමු කියලා. හිටපු ජනාධිපතිතුමා අතින් ලියුම දුන්නා විතරයි. ශිෂ්‍යත්ව දුන්නේ මම. ආණ්ඩුවෙන් සත පහක්වත් දුන්නේ නෑ.
ප්‍රශ්නය - වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය අතර සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා මාස හයකට සිසුන් ගැනීම නවත්වන ලෙස ඔබට යෝජනා කරන්න. ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
පිළිතුර - අපි ඒ යෝජනාවට කැමති නෑ. එම යෝජනාව අපි පිළිගත්තෙත් නෑ. එය ඉල්ලීමක් විතරයි. අපි දිගටම ළමයින් බඳවාගෙන යනවා. අපි බැංකුවලින් ගත්තු ණය ගෙවන්න ඕනෑ. මහාචාර්යවරුන්ට පඩි ගෙවන්න ඕනෑ. අපේ මාහාර්යවරුන්ට ලංකාවේ කිසිම මහාචාර්යවරයකුට ලැබෙන්නේ නැති වැටුපක් ගෙවනවා. මහාචාර්යවරයකුට ලක්ෂ පහක් පමණ ගෙවනවා. මට ඕනෑ හොඳ වෛද්‍යවරුන් බිහිකරන්නයි. හොඳ වෛද්‍යවරුන් බිහි කරන්න නම් හොඳ මහාචාර්යවරුන් ඉන්න ඕනෑ. කොහොම වුණත් අපි උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ ළඟින් කතා බහ කරගෙන යනවා.
ප්‍රශ්නය - සයිටම් සිසුන්ට රජයේ රෝහලක සායනික පුහුණුව ලබා දීමට සහ ඉන් පසු වෛද්‍ය සභාවෙන් පවත්වන විභාගයකට මුහුණ දීමට ඔවුන් යෝජනා කළා. ඊට එකගද?
පිළිතුර - අපි එය පිළිගන්නේ නෑ. උසාවියෙන් තීරණය දී තිබෙන්නේ අපේ ළමයින් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්න කියලයි. එනිසා අපි ඉන් පිට යන්නේ නෑ. ඔවුන්ට පුහුණුව ඇති කියා තීරණය කළා. වෛද්‍ය සභාවෙන් කණ්ඩායමක් එව්වා අපේ ප්‍රමිතිය බලන්න. ඇවිත් දවස් හතරක් පමණ වටේම ගිහින් ශිෂ්‍යයන්ගෙන් මහාචාර්යවරුන්ගෙන් ප්‍රශ්න අහලා අපට කිව්වා මේ ළමයින් ලියාපදිංචි කරන්න පුළුවන් කියලා. ඒ අතරේම සායනික පුහුණුව දෙන්න කිව්වා. මෙය වෛද්‍ය සභාවට යැව්වාම 18 පිටුව අයින් කරලා වෙනත් පිටුවක් ඇතුළට දාලා මේ ළමයින්ට ලියාපදිංචිය දෙන්න බැහැයි කියලා තිබුණා. කොළ අයින් කරලා වෙන කොළයක් දමන එක විශාල වංචාවක්. අපි ගාව තිබෙනවා වෛද්‍ය සභාවේ මිනිට්ස්. කවුද හොරකම කළේ කියලා මේ හොරුන් ඔක්කොම හිරේ අරින්න ඕනෑ.
ප්‍රශ්නය - සයිටම් සම්පූර්ණයෙන් රජයට පවරා ගත යුතු බවටත් පිරිසක් යෝජනා කරනවා?
පිළිතුර - ළමයින්ට උගන්වන්න තඹ සල්ලියක්වත් වියදම් නොරපු ආත්මාර්ථකාමී, කුහක මිනිස්සු පිරිසක් තමයි ඔහොම කියන්නේ.
ප්‍රශ්නය - සයිටම් ප්‍රශ්නය මෙච්චර දිග්ගැස්සුණේ කාගේ වරදින්ද?
පිළිතුර - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිසයි මෙය හුඟක් දුරදිග ගියේ. අපි පියවරක් ගන්න හැම අවස්ථාවකම ඔවුන් විරුද්ධ වුණා. අන්තිමට ළමයින්ට උසාවියට යන්න වුණා. උසාවියේ තීරණය තමයි දැන් තිබෙන්නේ. එය පිළිගනියි කියා අපි හිතනවා. එය වෙනස් කරන්න ගියොත් උසාවියට අපහාස කළා කියලා නඩු දාමා ඔක්කොම හිරේ අරියි.
ප්‍රශ්නය - පසුගිය රජයේ සෞඛ්‍ය ඇමැති වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඔහු මේ ප්‍රශ්නය වසදන්න මැදිහත් වුණාද?
පිළිතුර - එතුමත් උදව් කළා. නමුත් එස් බී දිසානායක වගේ ඉදිරියට පැණලා උදව් කළේ නෑ.
ප්‍රශ්නය - ඔබේ ඉදිරි වැඩපිළිවෙළ මොකක්ද?
පිළිතුර - අපි ඉදිරියටම යනවා. උසාවි නියෝගය ක්‍රියාත්මක නොවුණොත් ළමයි උසාවියට අපහාස කිරීම යටතේ නඩු දමයි. මට කරන්න දෙයක් නෑ. ළමයිගේ අනාගතේ මට නවත්වන්න බැහැනේ. එතනින් නවතින්නෙත් නැතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ගොස් පැමිණිල්ලක් කරයි රජය උසාවි නියෝගය වෙනස් කරන්න හදනවා කියා.
එක්සත් ජාතීන් කිව්වේ ලංකාවේ හයිබ්‍රිඩ් උසාවියක් දමන්න ඕනෑ කියා. ඒකට ඔක්කොම විරුද්ධ වුණා. මෙය හොඳ අවස්ථාවක් වෙනවා. මම හිතන්නේ රජයට අපිට සහයෝගය දෙනාව ඇරෙන්න වෙන දෙයක් කරන්න නෑ.

