’’රංජන් අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලනික පලිගැනීමක් නැහැ’’



(ශාන්ත චන්ද්‍රසිරි)
 
රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ පිටුපස කිසිම දේශපාලන පලිගැනීමක් නොමැති බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධීපතිවරයාගේ රජය යටතේ කිසිම දිනක දේශපාලන පළිගැනීම් නොකරන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා පැවැසීය.
 
තලවකැලේ- ලිඳුල, ආගරපතන සහ කොත්මලේ යන පළාත් පාලන ආයතනවල පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ නිරීක්ෂණ චාරිකාවකට අද (11) එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නගන ලද  ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පැවැසීය.
 
මෙහෙදී තව දුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවයා මෙසේද කීය.
 
"රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිටුපස කිසිඳු  දේශපාලන පලිගැනීමක් නැහැ. මේ රජය කවදාවත්ම එහෙම කරන්නේ නැහැ. නමුත් එක එක දේශපාලන පක්ෂ තම වාසියට මෙය හරවා ගන්න බලනවා. මේ සිද්ධිය දේශපාලනට හරවා ගැනීම මම හිතන්නේ සම්පුර්ණ වැරදි ක්‍රියාවක් කියලායි. මෙම සිද්ධිය පොලීසියට භාරදී තිබෙනවා. පොලීසිය නිසි ලෙස එම කටයුතු ඉටු කරයි.
 
මේ රටේ නීතියක් තිබෙනවා. එම නීතියට  අනුව මේ කටයුත්තත් ක්‍රියාත්මක වේවි. මේ ගැටළුව විමර්ශනය කිරීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තිබෙනවා. නීතිපති දෙපාර්තුමේන්තුව තියෙනවා. පොලිස් දෙපාර්තුමේන්තුව තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි පුද්ගලික මත ප්‍රකාශ කරනවාට වඩා ඒ සදහා අදාල ආයතනවලට අවස්ථාව ලබාදීමයි කළ යුත්තේ. මේ ගැන තමන්ගේ පුද්ගලික මත ප්‍රකාශ නොකර සිටීමයි වැදගත් " යයිද  පැවැසීය.