’’පී සී ආර් පරික්ෂණ 80,000 න් 10,000 ක් සිදුකරේ ජපුර සරසවියේ’’


(විනිතා එම් ගමගේ)

කොවිඞ් 19 වයිරසය පිළිබඳව මෙතෙක් මෙරට සිදුව ඇති පී සී ආර් පරික්ෂණ 80,000 න් 10,000ක් සිදුකර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දී යැයි එම විශ්ව විද්‍යාලයේ වැඩ බලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පැවැසීය.

එම සියලු පරික්ෂණයන්හි සියලු වාර් තා සියයට සියයක් නිවැරදි අන්දමින් සිදුකළ බවද කියා සිටියේය.

මේ වනවිට එම පරික්ෂණ සඳහා අලුත්ම පී සී ආර් යන්ත්‍රයක් ද ගෙන්වා ඇතැයි උපකුලපතිවරයා සඳහන් කළේය.

ජාතික විශ්ව විද්‍යාල පද්තියේ ප්‍රධාන විශ්ව විද්‍යාලයක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ජාතික ආපදාවක් වන කොවිඞ් වසංගතය පැතිර ගිය අවස්ථාවේ වගකීමෙන් කටයුතු කළේ යැයි කී මහචාර්යවරයා නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීම සඳහා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර දෙකක් යුද හමුදාවට භාර දී ඇති බව ද සඳහන් කළේය.

වැඩ බලන උපකුළපතිවරයා මේ අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වසර 47000 කට පෙර මෙරට ජීවත් වූ මානවයන් දඩයම් සඳහා සත්ව අස්ථිවලින් ඉතා දියුණු ආයුධ හා මෙවලම් තනා ගත් බවට එම විශ්ව විද්‍යාලයෙන් සිදුකළ පර් යේෂණය පිළිබඳ තොරතුරු හෙළි කිරිම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.