(අංජුල මහික වීරරත්න)
යහපාලන රජය සමයේ අක්කරය රුපියල් සීයක්වත් නොවටිනා ඉඩම් රජයට පවරා දී ඒ වෙනුවට පර්චසය ලක්ෂ පනහක් තරම් වටිනා ඉඩම් රජයෙන් ලබා ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් යැයි කියමින් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් ද මෙලෙස දුෂිත ලෙස ඇතැම් පුද්ගලයින්ට ලබා දී ඇති බව ද එම ඉඩම් නැවත පවරා ගැනීමට මේ වන විට නඩු 67ක් පවරා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම, ඉඩම් අමාත්‍යාංශය සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (31) පැවැති සාකච්ඡාවේ දී අලුත්ගමගේ මහතා මෙි බව කීය.
මෙම ඉතා වටිනා දේපළ තුට්ටු දෙකට බදු දීමෙන් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවත් සියලු බදු ගිවිසුම් අවසන් කර අලුත් බදු ගිවිසුම් සකස් කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අලුත්ගමගේ මහතා එහිදී කීය.

