’සහරාන් ගැන ක‍්‍රියා කරන්න පොලිස්පති නිලධාරීන්ට නියෝග කර නෑ’


(මනෝප‍්‍රිය ගුණසේකර)

ජාතීන් හා ආගම් අතර වෛරී අදහස් පතුරුවා හරින තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් නමැත්තා සම්බන්ධයෙන් 2018 වර්ෂය මුළුල්ලේ අවස්ථාවන් 13 කදී පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ අවධානයට යොමු කළත් ‘පරීක්‍ෂා කර වාර්තා කිරීම’ හැර සහරාන් සම්බන්ධයෙන් වෙනත් ක‍්‍රියා මාර්ගයක් ගන්නා ලෙස පොලිස්පතිවරයා නිලධාරීන්ට නියෝග කොට නොමැති බව පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේදී අද (01) හෙළි විය.

මුහුණු පොත හරහා අන්තවාදී අදහස් පතුරුවා හරිමින් ජාතීන් හා ආගම් අතර වෛරී අදහස් පතුරුවා හරින තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් නමැත්තා සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා ඉල්ලීම හැර පොලිස්පතිවරයා වෙනත් නියෝගයක් දී නැද්දැයි කොමිසමේ විනිසුරු මඩුල්ලේ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ඒ බව කොමිසමේදී හෙළි කළේය.

තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් නමැත්තාට එරෙහිව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් මෙන්ම මඩකලපුව මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කොට තිබු බවත් ඔහුට විදේශ ගතවීම වළකාලමින් නියෝග නිකුත් කර තිබු බවත් කොමිසමට දැනුම් දුන් ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා සැඟවී සිටි ඔහු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදුකරමින් සිටි බවත් ඒ බව සෑම අවස්ථාවකදීම පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කළ බවත් පැවසීය.

අයි.එස්.අයි.එස්. සංවිධානයේ නිල ප‍්‍රකාශනය වන ‘අල් නබා’ සඟරාවේ පළවන ලිපි හා කතු වැකි දෙමළ භාෂාවට පරිවර්ථනය කර මොහොමඞ් සහරාන්ගේ මුහුණු පොතේ ප‍්‍රචාරය කොට ඇති බවද සහරාන්ගේ මුහුණු පොතේ යමක් ප‍්‍රචාරය වන සෑම අවස්ථාවකදීම පොලිස්පතිවරයාට ඒ පිළිබදව බුද්ධි තොරතුරු ලැබෙන බවත් ඒ සෑම අවස්ථාවකදීම පොලිස්පතිවරයා ඒ ගැන සොයා බලන ලෙස දැනුම් දෙමින් තම කොට්ඨාසයට ගොනු එවන බවත් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කොමිසමට දැනුම් දුන්නේය.

මොහොමඞ් සහරාන් නමැත්තාට එරෙහිව සිවිල් හා දේශපාලන සම්මුති පනත යටතේද, ජාතීන් හා ආගම් අතර අසමගියක් ඇති කිරීම සම්බන්ධ පනත යටතේද නඩු පැවරීම සදහා තම කොට්ඨාසය විසින් නීතීපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කර තිබු බවද ඒ මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසීය.