’වෙන්නප්පුව සමූපකාර සමිතියේ ලක්ෂ 18 ක වංචාවක් ’


(චන්දන පනාන්දු)

වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ ලක්ෂ 18 ක චෙක්පත් වංචාවක් අභ්‍යන්තර විගණන පරික්ෂණයකදි හෙළි වි ඇතැයි එහි සාමාජිකයින් මෙන්ම එහි සේවකයෝ පිරිසක් පෙන්වා දෙති.

සමූපකාර සමිතියට අයත් මුදල් පෞද්ගලික මුල්‍ය ආයතනයක තැන්පත් කිරිම වෙනුවෙන් ලැබී තිබූ චෙක්පත්වල රුපියල් 922 500ක් හා  925 027ක මුදලක් මෙලෙස පොළි තැන්පතු සටහන් නොතබා සමූපකාර මුදල් අයකැමිවරයා හරහා මාරුකරගෙන ඇතැයි තහවුරු වි ඇති බව සාමාජිකයෝ පවසති.

මෙම පොලි ආදායම බැංකු අංශ ප‍්‍රධානී ලෙස කටයුතු කරන නිලධාරියා හරහා බැංකු ගතකළ යුතු වුවත් එලෙස නොකර චෙක්පත් දෙක මගින් ලබාගත් රුපියල් ලක්ෂ 18 නාමිකව බැංකුගත කර ඇති බව හෙළි වී ඇතැයි ඔවුහු කියති.

එම මුදල් පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන ඇති බවට හෙළි වි ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.     

මෙම වංචාව සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් ගෙන මෙම වංචාවට සම්බන්ධ සියලු දෙනාට නිතීමය පියවර ගන්නා ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත්  මෙම වංචාව සම්බන්ධයෙන් හෙළිකරගත් කරුණු හා ලිය කියවිලි ඕනෑම තැනක ඉදිරිපත් කිරිමට සුදානම් බවත් නම හෙළි කිරිමට අකමැති සමූපකාර සේවකයෙක් පැවසීය.     

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වෙන්නප්පුව සමූපකාර සමිතියේ උප සභාපති ජයන්ත සමරසිංහ මහතා පැවසුවේ තමන්ටද මේ ගැන දැනගන්නට ලැබුණු බවත් මේ ගැන නිසි පරීක්ෂණයක් කිරීමට හා සොයා බැලීමට හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවූ බවත් ය.
“ කවුරුන් හෝ වැරැද්දක් කරලා තිබෙනවා නම් අපි නීතිමය පියවර ගැනීම සඳහා අදාළ ආයතන දැනුවත් කරනවා “යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

 “මටත් ඔය ගැන දැනගන්න ලැබුණා .වයඹ පළාත් සමූපකාර ලේකම්වරිය හා සමූපකාර කොමසාරිස්තුමා මාර්ගයෙන් මම මේ ගැන සොයා බලන්නම් “ යැයි වයඹ පළාත් සමූපකාර අමාත්‍ය පියසිරි රාමනායක මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේය.