’විස්කි ’ ජාවාරමක් ගැන රේගුවේ අවධානය


(යොහාන් භාසුර)

විදේශ රැකියාවල නිරතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ඇතැමුන් රජයට විශාල බදු ආදායමක් අහිමිකරමින් කාලයක් සිට කරගෙන යන ‘විස්කි’ ජාවාරමක් පිළිබඳව රේගුවේ අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසීය.

එම පුද්ගලයන් ජාවාරම්කරුවන් සමඟ එක්ව ‘විස්කි’ බෝතල් විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ ගමන් ම`ඵවල සඟවාගෙන ගුවනින් පැමිණ ගුවන්තොටුපළෙන් පිටවීමෙන් පසුව ඒවා නැවත ජාවාරම්කරුවන්ට ලබාදෙන බව කී රේගු නිලධාරියා ඇතැමුන් නැව් මගින් යොමු කරන භාණ්ඩ පෙට්ටිවල ‘විස්කි’ බෝතල් සිය ගණනින් සඟවා ගෙන එන බව ද සඳහන් කළේය.

මැදපෙරදිග රටවල්වල රැකියා කරන පුද්ගලයන් ඔවුන් එහි පාවිච්චි කළ භාණ්ඩ ඇතුළත් පෙට්ටි ශ්‍රී ලංකාවට යොමු කිරීමේදී ශීතකරණ, ගෑස් උඳුන් සහ රෙදිසෝදන යන්ත්‍ර ආදි උපකරණ ‘විස්කි’ බෝතල් සඟවා යොමු කරන බවත් මෙය සංවිධානාත්මක ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වන බවත් එම නිලධාරියා පැවසීය.

එම ජාවාරම්කරුවන් මැදපෙරදිග රටවල ගෘහ සේවයේ නිරතව සිටින කාන්තාවන් ද මෙම ජාවාරමට නතුකරගෙන ඇති බව මේ වන පෙණෙන්නට ඇති බව පැවසූ එම නිලධාරියා ‘විස්කි’ ජාවාරමෙන් රජයට අති විශාල බදු ආදායමක් අහිමිවන බව ද කීය.