‘’කොරෝනා මර්දනයට ලැබුණු විදේශ මුදල් ගැන නිවැරදි තොරතුරු වහාම රටට හෙළි කරන්න’’


(නිමල කොඩිතුවක්කු)

කොරෝනා මර්දනයට ලැබුණු විදේශ අරමුදල් පිළිබඳ නිවැරදි තොරතුරු වහාම රටට හෙළිකරන්නේ රජයෙන් ඉල්ලා සිටින බව බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
 
පාර්ලිමේන්තුව අක්‍රියව පවතින මොහොතක රටේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ පාරදෘශ්‍ය භාවය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවද බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී  අද(14) මාධ්‍ය වෙත  විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව පැවසීය.
කොරෝනා වසංගතය ගෝලීය වසංගත තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ පත් කිරීම හේතුවෙන් ලොව පුරා රටවල්, සංවිධාන සහ ආයතන කොරෝනා මර්දනය සඳහා හදිසි අරමුදල් ප්‍රදානයන් රැසක් මෙරටට සිදුකළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඍජුවම මෙරටට ලබා දී ඇති ආධාර මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1.9ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනය කරනු ලැබූව ද ගැටලුව වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදුන් නිර්දේශ මත වෙනත් රටවල් , සංවිධාන සහ ආයතන මගින් ලැබුණු ආධාර මුදල් පිළිබඳ රජය නිවැරදි පැහැදිලි කිරීමක් නොකිරීම බව ඒ මහතා සදහන් කළේය.
 
පාර්ලිමේන්තුව ද අක්‍රීයව පවතින මොහොතක, රටේ මූල්‍ය කටයුතු පිළිබඳ පාරදෘශ්‍ය භාවයකින් යුක්තව කටයුතු කිරීම රජය ට පැවරී ඇති පැහැර හැරිය නොහැකි වගකීමක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

2017 වසරේ දී චීනයේ ව්‍යාප්ත වූ සාර්ස් වසංගතයත් සමඟ ගෝලීය වසංගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක විශේෂ අරමුදලක් පිහිටු වන ලද බවත් මෙරට රජය විසින් එම අරමුදලින් ද කොරෝනා වසංගතයට මුහුණ දීම ආධාර ඉල්ලා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වවික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
 
මීට අමතර ව  ලෝක බැංකු ආධාර යටතේ යටතේ ම ක්‍රියාත්මක “COVID-19 Emergency Response and Health System Preparedness Project” ( COVID-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සැකසීමේ ව්‍යාපෘතියෙන්) මේ වන විටත් ශ්‍රී ලංකාවට මූල්‍ය පරිත්‍යාගයක් හිමි වී ඇති බවද ඔහු සදහන් කළේය.
 
දැනට පවතින තත්වය අනුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආදායම් මට්ටම් බිඳවැටීම සහ අපේක්ෂිත ආර්ථික වර්ධන වේගයන් කරා ළඟා වීමට අපොහොසත් වීම යන කරුණු මත බොහෝ රටවල්, සංවිධාන සහ ආයතන මෙරටට ආධාර කිරීම සඳහා ඉදිරිපත්ව ඇති බව ද  වික්‍රමසිංහ මහතා පැවසීය.
 
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලද අමෙරිකානු ඩොලර් මිලියන 1.9 ක පරිත්‍යාගය ට අමතරව  ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් ද ඇතුළුව විදේශ රටවලින් සහ සංවිධානවලින් සෘජු මූල්‍ය දායකත්වයන් රැසක්ද මෙරටට හිමිව ඇති බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එම නිර්දේශ පදනම් මෙරටට හිමි වූ  මූල්‍ය පරිත්‍යාගයන් පිළිබඳ පැහැදිලි විස්තරයක් රටට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවක් පියවර ගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.