(ඩයනා උදයංගනී)
එල්.ටී.ටී.ඊ සංවිධානයේ සන්නද්ධ නායකයෙක් ලෙස අලිමංකඩදි හා කිලිනොච්චියෙදි යුද හමුදාවේ දෙතුන් දාහක් මරා දැමූ බව කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නිසා ඔහුට එරෙහිව අපරාධ පනත හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කළ යුතයැයි. ජාතික හෙළ උරුමයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එළඹෙන මහ මැතිවරණය ජයගැනීම සඳහා රණවිරුවන් ඉදිරියට දමමින් කටයුතු කරන වත්මන් ආණ්ඩුව, ශ්‍රී ලංකා යුධ හමුදාවේ දහස් ගණනක් මැරූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ කොටි වීරයා ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමේ දේශද්‍රෝහී ක්‍රියාවලියක නිරත වී සිටින බව ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ දී අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ සන්නද්ධ නායකයෙක් ලෙස විශාල අපරාධ කළ අයෙක් වුවත් කිසිම අවස්ථාවක ඔහු එය පිළිගෙන තිබුණේ හෝ ඒ සම්බන්ධයෙන් සාක්ෂි තිබුණේත්, පරීක්ෂණයක් කෙරුණේත් නැතැයි පාඨලී චම්පික රණවක මහතා කීවේය.
දැන් කරුණා අම්මාන්ම තමන් හමුදාවේ 2000 ක් 3000ක් පමණ මරා දැමූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති නිසා කියා ඇති නිසා එය එක්තරා ආකාරයකට සාක්ෂියක් බව ද හෙතෙම පැවසීය.
ඒ නිසා රජය වහාම විනයාගමූර්ති මුරලිදරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයැයි පාඨලී චම්පික රණවක මහතා කීවේය.

