රන්ජන් රාමනායක යනු නිතර අභියෝග බාර ගන්නා අපූරු රංග ශිල්පියෙකි. ජනතාවගේ නළුවා සම්මානයෙන් අඛණ්ඩව සම්මාන ලැබීමටත් විටෙක මේ සියල්ල හේතුවක් විය හැකියි. දේශපාලන ජීවිතයේදී මෙන්ම රංගන ජීවිතයේදී නිරන්තරයෙන් අභියෝග බාර ගන්නා ජනතාවගේ මේ නළුවා මෙවර බාරගත් අභියෝගය වන්නේ ”කාන්තා චරිතයක් රඟපෑමයි”. මෙහිදී හැඩිදැඩි පිරිමි චරිත රඟපෑ රංජන් තමුන්ගේ පෞරුෂය ගැන හිතුවේ නැද්දැයි රසිකයෝ ප‍්‍රශ්න කරති.
අපි ඒ ප‍්‍රශ්නය රංජන්ට යොමුකළෙමු.
රන්ජන් කොහොමද මේ දවස්වල?
මේ දවස්වල කලා කටයුතු වලට වැඩිපුර දායකත්වය ලබා දෙන්න තීරණය කලා. මොකද
පසුගිය අවුරුදු දෙක තුන වැඩිපුර ගතකළේ දේශපාලනය වෙනුවෙන්. පූර්ණ කාලීනව දේශපාලනය කළ නිසා චිත‍්‍රපටවලට ආරාධනා ලැබුණු චිත‍්‍රපට 11 ක විතර රඟපාන්න බැරි වුණා. ඒත් පසුගිය කාලයේදී අලූත් චිත‍්‍රපට හතරක රඟපෑවා. ජීවිතය ලස්සනයි, මායා, සිද්ධාර්ථ සහ පරපුර ඒවායි.
ඇයි දේශපාලනයෙන් අයින් වෙන්නද හදන්නෙ?
මගේ රැකියාව කලාවයි. දේශපාලනය කරන්නේ සේවයක් ලෙසයි. මැදපෙරදිග අපේ ශ‍්‍රමික ප‍්‍රශ්නය වෙනුවෙන් 2000 සිට පෙනී සිටියදී ඒ අයට වෙන අසාධාරණ ගැන තානාපති අංශ වලින් විමසන විට ඔයා කවුද ඒ ගැන විමසන්න? ඔයා නළුවෙක්නෙ කියලා පෙරළා මට ලැබුණු උත්තරය වුණා. ඒ නිසා ක‍්‍රියාකාරී දේශපාලනයට ඇවිත් ඒ හඬ නගන්න මට ඕනෑ වුණා. පසුගිය කාලයේදී මේ දේශපාලන වැඩ නිසා මට කලාවේ ලැබුණු බොහෝ චරිත වලට දිනපවා දෙන්න බැරි වුණා. ඒ නිසා මම අපේ රනිල් වික‍්‍රමසිංහ නායකතුමාට කතාකරලා සර් කලාව වෙනුවෙන් වැඩිපුර කාලය යොදවන්න මට වෙලාව වෙන් කර ගන්න ඕනෑ කිව්වා. ”රන්ජන් ඔයා අයිති කලාවට. ඔයා අපේ පක්‍ෂයට ආලෝකයක්. ඔයාගේ කලාව කරන අතරේ අවශ්‍ය වෙලාවට එන්න. කියලා එතුමා කිව්වා. මොකද මම වැඩක් කරනවා නම් එය හරියට කරන්නෙ. දේශපාලනයේ සිටින අතරේ මගේ කලා කටයුතුවලත් යෙදෙන්න ඕනෑ.
හරි, අපි ඊළඟට දැනගන්න කැමැතියි ඔබ මේ බාර ගත්ත කාන්තා චරිතය ගැන?
මේ කාන්තාව නිකම්ම කාන්තාවක් නොවෙයි. අයුක්තියට එරෙහිව සටන් වදින වීර කාන්තාවක්. අද්භූත බළයක් ඇති කාන්තාවකගේ චරිතයක්. මේ නිසාම කිසිම පැකිලීමකින් තොරව මේ චරිතය බාර ගත්තා.
මෙම චිත‍්‍රපටය කාන්චනා නමින් දමිළ තිරයේ නිර්මාණය වූ චිත‍්‍රපටයක් නේද?
ඔව්, කාන්චනා කියන දමිළ චිත‍්‍රපටයේ පරිවර්ථනයක්. සිංහලට නම් කරලා තියෙන්නේ ”මායා” කියලයි.
මෙවැනි චිත‍්‍රපටයක රඟපෑම ගැන හිතන්නෙ කොහොමද?
මෙවැනි පරිවර්ථන චිත‍්‍රපට බොලිවුඩයේ, කොලිවුඩයේ විතරක් නොවෙයි අද හොලිවුඩයෙත් සිද්ධ වෙනවා. හින්දි සිනමාවේ නිර්මාණය වූ බොඩිගාඞ් එදා මුලින්ම මම ලීඩර් ලෙස කළා. ලෝකයේ මේ පරිවර්ථන හෙවත් රිමික්ස් කලාව දැන් ආට් එකක් වෙලා. මෙම තෙළිඟු චිත‍්‍රපටය දමිළට පරිවර්තනය වී පසුව සල්මන් සහ සංජේදත් රඟපාන නිර්මාණයක් වුණා. සිංහලට කරන මෙහි ප‍්‍රධාන චරිතය රඟපාන්නේ මම.
මේ විදියට කාන්තා චරිතයක් කිරීම ඔබගේ පෞරුෂයට හානියක් නේද?
සම්මානනීය ප‍්‍රකට නළු කමල්හසන් මිසිස් ඩවුට් ෆයර් කියන චිත‍්‍රපටයේ සම්මානනීය චරිතයක් කළා. ෂාරුක් ඛාන් චිත‍්‍රපයක ගීත දර්ශනයකට කාන්තාවක් ලෙස පෙනී සිටියා. අම්තාබ් මෙරේ අඟනේ මේ... ගීතයට පෙනී සිටියා. ඇත්තටම මේවා රංග ශිල්පියකුට ලැබෙන විරල අවස්ථා. සමහර විට මේ අභියෝග ලැබෙන්නෙ ජීවිතයට එක්වරක් විතරයි. සුපර් සික්ස් නිර්මාණය කළ සතිස් කියන නිෂ්පාදකවරයා තමයි මේ චරිතයට මාව තෝරා ගත්තේ. ආරුමුගම් කියන අධ්‍යක්‍ෂවරයා තමයි මෙය නිර්මාණය කරන්නෙ.
ඔබ සල්මන්වත්, සංජේවත්, අමිතාබ්වත් නොවෙයි. මහ ඇමති අපේක්‍ෂක වූ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්. සමාජයට ආදර්ශවත් විය යුතු එවැනි කෙනෙක් මෙවැනි චරිතයක් තෝරා ගැනීම සුදුසුද?
මතක තබාගන්න, මේක නිකම්ම චරිතයක් නොවෙයි. වීර කාන්තාවකගේ චරිතයක්.
මෙවැනි චරිත රඟපාන්න කොච්චර නම් නිළියන් සිටිනවාද?
මේ චරිතයේ හැටියට සටන් කරන කාන්තාවක් වෙන්න ඕනෑ. මම මීට පෙර ක‍්‍රියාදාම චරිත බොහෝමයක් කළා. ප‍්‍රකට විචාරකයෙක් ඒ නිසාම මට කිව්වෙ සිංහල සිනමාවේ අන්තිම වීරයා කියලයි. මෑන් හෑස් මෙනි ෆේසස් (Man has many faces) කියලා කතාවක් තියෙනවනෙ. නළුවෙකුට එය චරිත රංගනයට වඩාත් පෑහෙන කියමනක්. මේ චිත‍්‍රපටය ලොකු පෙරලියක් කරන බව මම ඒකාන්ත වශයෙන්ම දන්නවා.
සටහන - සඳුන් ගමගේ