‘‘මේ ආණ්ඩුවත් පරණ ගමනේම‘‘


(මුදිතා දයානන්ද)

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධාන තනතුරුවලට දූෂිතයන් පත් කරමින් මේ අණ්ඩුවත් පරණ ගමනම යන බව ඔප්පු කර හමාර යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (26) පැවසීය.

ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඒ මහතා මෙසේද පැවසීය.

ජනධිපති පුටුවේ මෛත්‍රී වෙනුවට ගෝඨාභය වාඩිවුණා කියලා කිසිඳු වෙනසක් සිදුවී නැහැ. බලයට එන්න කලින් ජනතාවට පොරොන්දු වුණා සංස්ථා මණ්ඩලවලට ප්‍රධානීන් පත්කරන විට දූෂිතයින් පත් කරන්නේ නැහැ කියලා. ඒ වගේම එම ඉහළ නිලධාරීන් තෝරා ගන්න විශේෂ කමිටුවක් පත් කළා. ඒ කමිටුවට පත්කළෙත් සිල්රෙදි නඩුවේ වැරදිකරුවෙක් බවට පත්ව දඬුවම් නියම වූ අයෙක්. ඒ නිසා ඇතැම් සංස්ථා මණ්ඩලවලට පත් කළේ පහුගිය කාලයේ එම ආයතනවලම ඉඳලා දූෂණ චෝදනාවන්ට ලක්වූ පුද්ගලයින්. පවුල් පාලනයට ඉඩක් දෙන්නේ නැහැ කියලා ආපු ගමන් රාජපක්‍ෂ පවුලේ පුතාලගේ නැන්දලා මාමලා ආයතනවල ප්‍රධාන තනතරුවලට පත්කළා.

අද මහාධිකරණයෙන් වැරදිකරුවෙක් වූ ලලිත් වීරතුංග ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කරලා. ඔහු තමන්ගේ දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. අලුතෙන් පත්කළ අභියනාධිකරණ සභාපති ජනාධිපති හමුවෙන්න ආවාම පිළිගන්නෙත් ලලිත් වීරතුංග. මේ විදිහට ආණ්ඩුව කියන විනයගරුක නීතිගරුක රටක් හදන්නේ කොහොමද?

මහබැංකුව කොල්ලකාපු අය බලයට පත්වූ විගස දඬුකඳේ ගහනවා කිව්වා. නමුත් මේ වන තෙක් මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්න කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.

අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න කිසිඳු පියවරක් අරගෙන නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව තමන්ට හිතවත් වුණු අපරාධකාරයින් පිරිසිදු කිරීමේ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා.  අවුරුදු ගණනාවක් රතු වරෙන්තු සහිතව හිටපු උදයංග වීරතුංග හිටිගමන් ලංකාවට එනවා. ආණ්ඩුව ඔහු අත්අඩංගුවට අරන් බන්ධනාගාර රෝහලට යැව්වා. ඒ නඩුවේ විමර්ශන කළ පොලිස් නිලධාරියා මාරු කළා.

එයාබස් ගනුදෙනුවට සම්බන්ධයි කියලා එයා ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂක කපිල චන්ද්‍රසේකර හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත්තා. ඒ ගනුදෙනුවෙන්ම මුදල් ලැබුණ තවත් දෙන්නෙක් ඉන්නවා. ඒ අයගෙන් ප්‍රකාශයක්වත් අරන් නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ උපන්දින සාදවලටත් ආණ්ඩුවේ ප්‍රධානින් සම්බන්ධ වී සිටිනවා අපි සමාජ මාධ්‍යවලින් දැක්කා‘‘.යැයි ඒ මහතා පැවසීය.